සංවිධානයක ගැටළු විසඳා ගැනීමටත්, එහි අරමුණු ලඟා කර ගැනීමටත් හැකි වන පරිදි උපායමාර්ගික කළමනාකරණය භාවිතා කළ යුතුය. මෙහි දී ආයතනයෙහි සාමාජිකයන් විසින් පිළිගනු ලබන ආකාරයට එහි උපායමාර්ග දියුණු කළ යුතු අතර, එය ආයතනයෙහි ලියවිල්ලකට පමණක් සීමා නොවිය යුතුය.
තාක්ෂණික වශයෙන් සර්ව සම්පූර්ණව උපායමාර්ගික සැලසුම් කළ ද, ඒවා මනා ලෙස ක්‍රියාත්මක නොකරයි නම්, අපේක්ෂා කරනු ලබන ප්‍රතිඵල ලබා ගත නොහැකිය. උපායමාර්ගික සැලසුම් ක්‍රියාත්මක කළ විට, ඒවා නැවත පාරිසරික වෙනස්කම්වලට භාජනය වේ. මේ නිසා, සර්ව සම්පූර්ණ ලෙස සකස් කරන ලද උපායමාර්ගික සැලැස්මක් පාරිසරික වෙනස්කම්වලට ගැළපෙන පරිදි ක්‍රියාත්මක නොකළ හොත් සංවිධාන සාර්ථකත්වය ලඟා කර ගත නොහැකි වේ.
තව ද, උපායමාර්ගික කළමනාකරණය ආයතනයක් තුළ දැඩි නිලත්‍රන්ත්‍රවාදි ස්වරූපයක් නොගත යුතු ය. ඒ වෙනුවට, ආයතනයෙහි උපායමාර්ගික ගැටළු හඳුනා ගෙන ඒවා විසඳා ගැනීමට එහි සියළුම කළමනාකරුවන් සහ සේවකයන් උත්සාහ ගනු ලබන අඛණ්ඩ ඉගෙනුම් ක්‍රියාවලියක් හැටියට උපායමාර්ගික කළමනාකරණය ක්‍රියාත්මක කළ යුතුය. උපායමාර්ගික සැලසුම් අනවශ්‍ය පරිදි විධිමත් නොකළ යුතු ය. ඒවා වඩාත් සරල සහ යථාර්ථවාදි විය යුතුය.
මේ නිසා පුද්ගලයන්ට ලඟා කර ගත නොහැකි ඉලක්කම් ආයතනයෙහි උපායමාර්ගික සැලසුම්වල ඇතුළත් නොකිරීමට උපායමාර්ගඥයන් වග බලා ගැනීම වැදහත් ය. අඛණ්ඩ සංවිධාන ඉගෙනීම සහ වෙනසට උපායමාර්ගඥයන් පහසුකම් සලසාලීම වැදගත් ය. සඵලදායි උපායමාර්ගික කළමනාකරණය සඳහා වන තවත් වැදගත් මඟපෙන්වීමක් වන්නේ විවෘත මනසයි.
එනම්, නව තොරතුරු, නව අදහස්, නව දැකීම්, නව වෙනස්කම්, නව හැකියාවන්, නව ඉගෙනුම් තත්ත්වයන් භාර ගැනීමට සංවිධානයක සියළුම සාමාජිකයන් ක්‍රියා කිරීමයි. ප්‍රධාන විධායක නිලධාරින්, සභාපතිවරුන්, අයිතිකරුවන්, රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් වැනි උපායමාර්ගඥයන් විසින් සෙසු කළමනාකරුවන් සහ සේවකයන්ගේ යහපත උදෙසා කැප වී ක්‍රියා කළ යුතු ය. එලෙසම, කළමනාකරුවන් සහ සේවකයන් එකට ඒකාබද්ධ වී අදාළ සංවිධානවල උපායමාර්ගඥයන්ගේ තෘප්තිය වැඩි දියුණු වන ආකාරයට සංවිධානවල හැසිරිය යුතු ය. මේ සඳහා හෙන්රි ෆැයෝල් විසින් සඳහන් කළ ආකාරයට සංවිධානවල මනා විනයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.
![](/sayura/images/logo2.png)