උපායමාර්ගික කළමනාකරණයෙහි ප්‍රයෝජන
  Benefits of Strategic Management

සංවිධානයක අනාගතය පිළිබඳ ව වඩාත් පූර්ව ක්‍රියාකාරිව (Proactively) කටයුතු කිරීමට උපායමාර්ගික කළමනාකරණය මඟ පෙන්වයි. අයිතිකරුවන්, ප්‍රධාන විධායක නිලධාරින්, සභාපතිවරුන් සහ කළමනාකරුවන් විසින් විශේෂයෙන්ම උපායමාර්ගික කළමනාකරණයෙහි වැදගත්කම හඳුනා ගත යුතුය. සාම්ප්‍රදායික වශයෙන් උපායමාර්ගික කළමනාකරණයෙන් ඉටු වූ මූලික කාර්යභාරය වූයේ වඩා ක්‍රමවත් සහ තාර්කික උපායමාර්ග ගොඩනැගීමට උපකාරි වීමයි. වර්තමානයේ දී උපායමාර්ගික කළමනාකරණය සංවිධානවල සාර්ථකත්වය උදෙසා ඉතාම වැදගත් ය. උපායමාර්ගික කළමනාකරණයෙන් සංවිධානවලට මුල්‍ය නොවන ප්‍රතිලාභ ද ලැබේ.

උපායමාර්ගික කළමනාකරණ සංකල්ප භාවිතා කරනු ලබන සංවිධාන එවැනි සංකල්ප භාවිතා නොකරන සංවිධාන සමඟ සංසන්දනය කළ පසුව සොයා ගැනීමට හැකිවී තිබෙන්නේ, මුලින් කී සංවිධානවල විකුණුම්, ලාභය සහ ඵලදායිතාව සාපේක්ෂව වර්ධනය වී තිබීමයි. මේ නිසා, මෙවැනි සංවිධානවල දිගු කාලීන මුල්‍ය කාර්යඵලය කර්මාන්තයෙහි සෙසු ආයතනවලට වඩා ඉහළ ගොස් තිබේ. බාහිර තර්ජන හඳුනා ගැනීම පහසුවීම, තරඟකරුවන්ගේ උපායමාර්ග පහසුවෙන් අවබෝධ කර ගැනීම, සේවාදායකයන්ගේ ඵලදායිතාව වර්ධනය කර ගැනීම, වෙනසට එරෙහිව තිබෙන බාධාවන් අවම කර ගැනීම යනාදිය උපායමාර්ගික කළමනාකරණයෙහි මුල්‍ය නොවන ප්‍රයෝජන කිහිපයකි. "ග්‍රීන්ලි" ප්‍රකාශ කරන ආකාරයට උපායමාර්ගික කළමනාකරණයෙහි නිශ්චිත ප්‍රයෝජන කිහිපයක් පහත දැක්වේ.

* සංවිධානයක් සඳහා තිබෙන අවස්ථාවන් හඳුනා ගැනීමට, ඒවා ප්‍රමුඛගත කිරීමට සහ ප්‍රාග්ධනිත කිරීමට උපකාරි වීම.

* සංවිධානයක කළමනාකරුවන් මුහුණ දෙනු ලබන ගැටළු පිළිබඳ ව උපායමාර්ගික කළමනාකරණයෙන් අවධානය යොමු කිරීම.

* සංවිධාන කටයුතුවල සම්බන්ධීකරණය සහ පාලනය වර්ධනය කර ගැනීම පිණිස රාමුවක් ඉදිරිපත් කිරීම.

* පාරිසරික තත්ත්වයන් සහ වෙනස්කම් වලින් සංවිධාන වලට විය හැකි අහිතකර බලපෑම් අවම කිරීම.

* සංවිධානයක් විසින් ස්ථාපිත කරන ලද අරමුණු වඩා හොඳින් ඉටු කර ගැනීමට උපකාරි වීම.

* සංවිධානයක් විසින් හඳුනා ගන්නා ලද අවස්ථාවන් ලඟා කර ගැනීම පිණිස එහි සම්පත් වඩාත් සඵලදායි ලෙස බෙදා හැරීම.

* කළමනාකරුවන් විසින් අහඹු ලෙස ගනු ලැබූ තීරණ අසාර්ථක වූ විට, ඒවා නැවත නිවැරදි කිරීම පිණිස උපකාරි වීම.

* සංවිධානය තුළ සඵලදායි ලෙස සන්නිවේදන කටයුතු සිදු කිරීම පිණිස රාමුවක් නිර්මාණය කිරීම.

* සංවිධානයෙහි පුද්ගල චර්යාව ඒකාබද්ධ කරමින් ඔවුන්ට සමස්ත වශයෙන් පරිශ්‍රමය යෙදවීමට අවස්ථාව ලබා දීම.

* සංවිධානයෙහි එක් එක් පුද්ගලයාගේ වගකීම පැහැදිලිව නිශ්චය කර ගැනීමට අවස්ථාව ලබා දීම.

* අනාගතය සම්බන්ධයෙන් සිතීමට සංවිධාන සාමාජිකයන්ව උනන්දු කරවීම.

* සංවිධාන වෙනස පිළිබඳව එහි සාමාජිකයන් තුළ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීම.

* ව්‍යාපාරයක් කළමනාකරණය කිරීමේදී විනය සහ විධිමත්භාවය සඳහා අවශ්‍ය පසුබිම දියුණු කිරීම.

කෙසේවෙතත්, සමහර සංවිධාන විසින් පහත දැක්වෙන කරුණු නිසා උපායමාර්ගික කළමනාකරණය උපකරණයක් ලෙස භාවිතා කිරීමට අකමැති වේ.

* දුර්වල ප්‍රතිලාභ ව්‍යූහයක් තිබෙන සංවිධානවල පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් උපායමාර්ගික ක්‍රම භාවිතා කරමින් සංවිධාන සාර්ථකත්වය ලඟා කර ගැනීමට උනන්දු නොවේ.

* සංවිධාන සැලසුම්කරණය පිළිබඳ ව සාමාජිකයන් විසින් උනන්දු නොවන අවස්ථාවන් වලදී ද උපායමාර්ගික කළමනාකරණයට හොඳ පසුබිමක් නිර්මාණය නොවේ.

* සම්පත් පුළුල් වශයෙන් භාවිතා කිරීමට අකමැති සංවිධාන විසින් ද උපායමාර්ගික කළමනාකරණය ක්‍රියාත්මක කිරීමට පසුබට වේ.

* සාර්ථකත්වය යම් මට්ටමකට පමණක් සීමා කරමින් එය අඛණ්ඩව ලඟා කර ගැනීමට අදහස් නොකරන සංවිධාන විසින් ද උපායමාර්ගික කළමනාකරණයට සෘණාත්මක ප්‍රතිචාර දක්වයි.

* අතීත අත්දැකීම් පිළිබඳ ව ඉහළ විශ්වාසයක් සහ අධි තක්ෂේරුවක් පෙන්නුම් කරන කළමනාකරුවන් ද උපායමාර්ග ක්‍රමවත්ව භාවිතා කිරීමට අකැමති වේ.

* සැලසුම්කරණය තුළින් අතීතයේ දී අයහපත් ප්‍රතිචාර වලට මුහුණ දුන් කළමනාකරුවන් ද උපායමාර්ගික සැලසුම්කරණය දෙස සෘණාත්මකව බලයි.

* සාම්ප්‍රදායික ශිල්පක්‍රම භාවිතා කරමින් සංවිධානවල සාර්ථකත්වයට පැමිණි කළමනාකරුවන් ද උපායමාර්ගික සැලසුම්කරණය ක්‍රියාවට නැංවීමට අදහස් නොකරයි.

* සංවිධාන කළමනාකරුවන් පිළිබඳ ව ඉහළ විශ්වාසයක් නොමැති සේවකයන් විසින් උපායමාර්ගික සැලසුම් වලින් ලබා දෙන ඉලක්ක සහ අරමුණු ලඟා කර ගැනීමට උනන්දු නොවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017