උපායමාර්ගික කළමනාකරණ ආකෘතියක්
  A Model of Strategic Management

උපායමාර්ගික කළමනාකරණ ක්‍රියාවලිය (Strategic Management Process) පැහැදිලි කර ගැනීම සඳහා උපායමාර්ගික කළමනාකරණ ආකෘතිය උපකාර කර ගත හැකිය. සංවිධානයක උපායමාර්ගයන් සැලසුම් කිරීම ක්‍රියාත්මක කිරීම, සහ ඇගයීම යනාදි ප්‍රධාන උපායමාර්ගික පියවර හෙවත් අංග ඇතුළත් කරමින් වඩාත් පුළුල් ලෙස මෙන්ම ප්‍රායෝගික ලෙස මෙම ආකෘතිය ඉදිරිපත් කොට තිබේ.

1.2 රූප සටහනින් මෙය දැක්වීමට පුළුවන.

පළමුවෙන්ම සංවිධානයක උපායමාර්ගික කළමනාකරුවන් විසින් එහි දැක්ම සහ මෙහෙවර දියුණු කළ යුතුය. සංවිධානයෙහි අනාගත උපායමාර්ගික අදහස (Future Strategic Intent) එහි දැක්ම ලෙස හැඳින්වෙන අතර, ආයතනය එහි දී නිරත විය යුතු ව්‍යාපාරික කාර්යභාරය මෙහෙවර ලෙස අදහස් කෙරේ. සංවිධානයෙහි දැක්ම සහ මෙහෙවර හඳුනාගත් පසුව, එහි බාහිර පරිසරය සහ අභ්‍යන්තර පරිසරය තක්සේරු කළ යුතු ය. මේ සඳහා පාරිසරික විශ්ලේෂණයක් කළ යුතුය. පාරිසරික බලවේග හඳුනාගත් පසුව, ආයතනය දිගු කාලයේ දී ලඟා කර ගත යුතු අරමුණු තීරණය කළ යුතුය.

අනතුරුව එකී අරමුණු සාධනය කර ගැනීමේ ක්‍රම හෙවත් උපායමාර්ග දියුණු කළ යුතුය. නිදසුනක් ලෙස, වසර 5 ක් ඇතුළත දී සංවිධානයෙහි වෙළෙඳ පොළ කොටස 20% ක් ලෙස පවත්වා ගැනීම දිගු කාලීන අරමුණක් වන්නේ නම්, එය ළඟා කර ගැනීම පිණිස භූගෝලීය ප්‍රසාරණය (Geographical Expansion) නමැති උපායමාර්ගය යොදා ගැනීමට පුළුවන. ඊළඟට සංවිධානය තෝරා ගත් උපායමාර්ගය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතුය. ආයතනයෙහි සමස්ත උපායමාර්ගය සඳහා එහි විවිධ දෙපාර්තමේන්තු (නිෂ්පාදන, අලෙවි, මුල්‍ය, මානව සම්පත්, මෙහෙයුම්, පර්යේෂණ හා සංවර්ධන, කළමනාකරණ, තොරතුරු පද්ධති) දායක කර ගැනීම පිණිස ග්‍රිත උපායමාර්ග ක්‍රියාත්මක කිරීමද වැදගත් ය. අවසානයේ දී එක් එක් උපායමාර්ගවල කාර්යඵලය මැනීමට ලක්කොට සංවිධානයෙහි අරමුණු ඉටු කර ගැනීමට ඒවා උපකාරි වන ආකාරයට අනුව අදාළ උපායමාර්ග ඇගයීමට භාජනය කළ යුතු ය.


(c) Shilpa Sayura Foundation 2006-2017