උපායමාර්ගික මට්ටම්
  සංවිධානයක සෑම මට්ටමක දී ම උපායමාර්ග තිබීමට පුළුවන. පුද්ගල මට්ටමේ දී පවා උපායමාර්ග හඳුනා ගැනීමට පුළුවන. එනම්, පුද්ගලයන්ට ද ආවේණික වූ උපායමාර්ග තිබෙන බවයි. කෙසේවෙතත්, වෙනස් මට්ටම් වර්ග තුනක් තුළ සංවිධාන උපායමාර්ග හඳුනා ගැනීමට පුළුවන. ඒවානම්,

* ආයතනික මට්ටමේ උපායමාර්ගය
(Corporate Level Strategy)

* ව්‍යාපාරික මට්ටමේ උපායමාර්ගය
(Business Level Strategy)

* මෙහෙයුම් මට්ටමේ උපායමාර්ගය
(Operational Level Strategy)

ආයතනික මට්ටමේ උපායමාර්ගය සංවිධානයක සමස්ත කාර්යභාරය සහ විෂයපථය සමඟත්, සංවිධානයෙහි විවිධ ව්‍යාපාරික ඒකකවලට අගය එකතු කරනු ලබන්නේ කෙසේද? යන්න පිළිබඳවත් සලකා බලයි. භූගෝලීය ආවරණය, භාණ්ඩ හා සේවාවන්වල විවිධත්වය, වෙළෙඳ පොළ විවිධත්වය, සම්පත් බෙදාහැරීම වැනි ගැටළු මෙහි දී ඉලක්ක කෙරේ. ආයතනික මට්ටමේ උපායමාර්ගය විශේෂයෙන්ම ආයතනය පිළිබඳව උනන්දුවන පාර්ශවයන්ගේ අපේක්ෂාවන් වලට ඉහළ වැදගත්කමක් ලලබා දේ. එලෙසම සංවිධාන මෙහෙවර ඉටුකර ගනු ලබන ආකාරය ද මින් පැහැදිලි කෙරේ.

ව්‍යාපාරික මෙහෙයුම් මට්ටම හෙවත් ව්‍යාපාරික ඒකක උපායමාර්ගය (Business Unit Strategy) සංවිධානයක දෙවැනි උපායමාර්ගික මට්ටමයි. සංවිධානය විශේෂිත වෙළඳ පොළවල් තුළ සාර්ථක ලෙස තරඟ කරන්නේ කෙසේද? යන්න පිළිබඳව මින් පැහැදිලි කෙරේ. මේ අනුව, වෙළඳ පොළ තුළ සිටින තරගකරුවන් අභිබවා වාසි ලබා ගන්නේ කෙසේද? යන්න සංවිධානයක ව්‍යාපාරික උපායමාර්ගයෙන් සලකා බැලේ. මේ නිසා, ව්‍යාපාරික උපායමාර්ගවලින් විවිධ ඉලක්ක වෙළඳ පොළවල් හඳුනා ගෙන හෝ නිර්මාණය කර ගෙන, එම ඉලක්ක පාරිභෝගික අවශ්‍යතා වඩාත් ලාභදායි ලෙස මුණගස්වමින් ආයතනයෙහි අරමුණු ලගා කර ගැනීමට උත්සාහ ගනු ලැබේ.

සංවිධානයෙහි උපායශීලි ව්‍යාපාරික ඒකක (Strategic Business Unit-SBUs) ඉලක්ක කරගෙන ව්‍යාපාරික මට්ටමේ උපායමාර්ග දියුණු කළ යුතු ය. උපායශීලි ව්‍යාපාරික ඒකකයක් යනු, සංවිධානය ඉලක්ක කරනු ලබන වෙනත් ව්‍යාපාරික වෙළඳ පොළකින් පැහැදිලිව ම වෙන් කොට හඳුනා ගත හැකි එහි ව්‍යාපාරික වෙළඳ පොළකි. නිදසුනක් ලෙස, කිසියම් සමාගමක් විසින් වෙළඳ පොළට ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළඳ පොළ සහ ඇඟළුම් වෙළඳ පොළ යනුවෙන් එම සමාගමට අදාළ උපායශීලි ව්‍යාපාරික ඒකක වර්ග 2 ක් හඳුනා ගැනීමට පුළුවන. මේ නිසා, සමාගමේ කළමනාකරුවන් විසින් මෙම වෙළඳ පොළ දෙවර්ගයට ගැළපෙන පරිදි වෙන වෙනම ව්‍යාපාරික උපායමාර්ග දියුණු කළ යුතුය.

සංවිධානයක් සතු වන සම්පත්, ක්‍රියාවලීන්, සහ මිනිසුන්ව එහි ආයතනික මට්ටමේ සහ ව්‍යාපාරික මට්ටමේ උපායමාර්ගවලදී සඵලදායි ලෙස උපයෝගි කර ගනු ලබන්නේ කෙසේද? යන්න එහි මෙහෙයුම් මට්ටමේ උපායමාර්ග හෙවත් මෙහෙයුම් උපායමාර්ග (Operational Strategies) වලින් පැහැදිලි කෙරේ. මේ අනුව, සංවිධානයක මෙහෙයුම් මටිටමේ කටයුතු සාර්ථකව සිදුවන ආකාරය මත එහි ව්‍යාපාරික මට්ටමේ සහ ආයතනික මට්ටමේ උපායමාර්ගවල සාර්ථකත්වය ද රඳා පවතී.

1.1 රූප සටහනින් ආයතනයක විවිධ මට්ටම්වල දී ගනු ලබන උපායමාර්ග දැක්වීමට පුළුවන.

(c) Shilpa Sayura Foundation 2006-2017