උපායමාර්ගික තීරණ
  Strategic Decisions

සංවිධානයක උපායමාර්ග හෝ උපායමාර්ගික තීරණ ගත් විට, ඒවායෙහි දක්නට ලැබෙන මූලික ලක්ෂණ කිහිපයක් පහත පරිදි කෙටියෙන් සාරාංශ කළ හැකි ය.

* සංවිධානයක උපායමාර්ගය එහි දිගු කාලීන දිශාව හෙවත් දිගු කාලීන ගමන් මාර්ගය අවධාරණය කර ගනී. එනම්, සංවිධානයෙහි දිගු කාලීන දැක්ම සහ මෙහෙවර ඉලක්ක කර ගැනීමයි.

* සංවිධානයක උපායමාර්ගික තීරණ සාමාන්‍යයෙන් එම සංවිධානය වෙත තරේකාරි වාසීන් අයත් කර දීමට උත්සාහ ගනී. එනම්, සංවිධානයෙහි තරඟකරුවන් අභිබවා වාසි ලබා ගැනීමට අවස්ථාව සැලසීමයි.

* උපායශීලි තීරණ සංවිධානයක කටයුතුවල විෂයපථය කේන්ද්‍ර කර ගනියි. එනම්, සංවිධානයෙහි නිෂ්පාදන සීමාව සහ භූගෝලීය සීමාව පදනම් කර ගෙන එහි උපායමාර්ග සකස් කෙරෙන බවයි.

* සංවිධානයක සම්පත් සහ ක්‍රියාකාරකම් එය මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන පරිසරයට ගැළපීම පිණිස එහි උපායමාර්ග දියුණු කෙරේ. මෙය උපායමාර්ගික ගැළපීම ලෙස හැඳින්වේ.

* සංවිධානයක සම්පත් සහ හැකියාවන් ව්‍යාපාරයක අවස්ථාවන් ලඟා කර ගැනීම පිණිස ප්‍රාග්ධනිත කිරීම ලෙස ද තවත් ආකාරයකින් උපායමාර්ගය හඳුනාගත හැකිය.

* සංවිධානයක විශාල පරිමාණයෙහි සම්පත් වෙනස්කම්, එහි උපායමාර්ගය දියුණු කිරීමේ දී හෝ උපායමාර්ගික තීරණ ගැනීමේදී අවශ්‍ය කෙරේ. නිදසුනක් ලෙස සංවිධානයක් විසින් සිදුකරනු ලබන ව්‍යාපාරික කටයුතු භූගෝලීය වශයෙන් පුළුල් කිරීමේ දී විවිධාකාරයේ සම්පත් අවශ්‍ය වේ.

* සංවිධානයක උපායමාර්ගික තීරණ එහි මෙහෙයුම් තීරණවලට බලපායි. නිදසුනක් හැටියට, ව්‍යාපාර අත්පත් කර ගැනීමකින් පසුව නව සංවිධානයෙහි මෙහෙයුම් මට්ටම්වල ද විශාල වෙනස්කම් කිරීමට සිදුවේ.

* සංවිධානයක උපායමාර්ගයට එහි පාරිසරික බලවේග සහ සම්පත් පමණක් නොව, එහි බලය භුක්ති විඳින මිනිසුන්ගේ අගනාකම් සහ අපේක්ෂාවන් ද බලපායි. මේ අනුව, මොවුන්ගේ අගනාකම්, අපේක්ෂාවන් සහ විශ්වාසයන් එම ආයතනයෙහි උපායමාර්ගය ලෙස පරිවර්තනය වන බැව් පැවසිය හැකිය. සංවිධානයක උපායමාර්ගික කළමනාකරුවන්ගේ අගනාකම්, අපේක්ෂාවන් සහ විශ්වාසයන් එම සංවිධානය පිළිබඳව උනන්දු වන පාර්ශවයන්ගේ අපේක්ෂාවන් වලට බලපෑම් කරයි. නිදසුනක් ලෙස, සමාගමක උපායමාර්ගික තීරණ එහි ගනුදෙනුකරුවන්ට, කොටස් හිමියන්ට, සේවාදායකයන්ට, සැපයුම්කරුවන්ට, මහජනතාවට බලපෑම් කිරීම.

සංවිධානයක උපායමාර්ග හෝ උපායමාර්ගික තීරණවල ඉහත ලක්ෂණ දෙස බලන විට, ඒවායෙහි ප්‍රතිඵල කිහිපයක් ද පහත ආකාරයට කෙටියෙන් සාරාංශ කළ හැකිය.

* උපායමාර්ගික දියුණු කිරීම වඩාත් සංකීර්ණ වේ. උපායමාර්ගවලට හෝ උපායමාර්ගික තීරණවලට ආවේණික වූ ලක්ෂණයක් ලෙස ද මෙය හඳුනා ගැනීමට පුළුවන. ලෝක ව්‍යාප්තව ව්‍යාපාරික කටයුතු සිදු කරන සමාගම් දෙස බලන විට මෙම සංකීර්ණත්වය මැනවින් පැහැදිලි වේ.

* සංවිධානයක උපායමාර්ගික තීරණ ගැනීමේ දී එහි උපායමාර්ගික කළමනාකරුවන්ට ඉහළ අවිනිශ්චිතතාවකට මුහුණ පෑමට සිදු වේ. එනම්, සංවිධානයකට අදාළ උපායමාර්ගික තීරණ ගැනීමේ දී එහි කළමනාකරුවන්ට අවස්ථාවන් සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් සහ අවදානමක් අත්දැකීමට සිදුවීමයි.

* උපායමාර්ගික තීරණ ගැනීමේ දී උපායමාර්ගික කළමනාකරුවන්ට අනුකලිත ප්‍රවේශයක් (Integrated Approach) අනුගමනය කිරීමට සිදු වේ. එනම්, ශ්‍රීත තීරණ වල දී මෙන් යම් නිශ්චිත ක්ෂේත්‍රයකට පමණක් සීමා නොවී, උපායමාර්ගික තීරණවල දී කළමනාකරුවන්ට සංවිධානයෙහි විවිධ දෙපාර්තමේන්තු සහ පාරිසරික සීමාවන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමට සිදුවීමයි.

* උපායමාර්ග දියුණු කිරීමේ දී කළමනාකරුවන්ට සංවිධානයෙන් බාහිර පාර්ශවයන් සමඟ ජාලයක් ආකාරයට සම්බන්ධතා පවත්වා ගැනීමට සිදු වේ. නිදසුනක් ලෙස, සැපයුම්කරුවන්, ගනුදෙනුකරුවන්, බෙදාහරින්නන් සමඟ අඛණ්ඩ සම්බන්ධතා පවත්වා ගැනීම.

* සංවිධාන වෙනස සමඟ උපායමාර්ගික තීරණ සෘජුව ම සම්බන්ධ වේ. විශේෂයෙන්ම සංවිධාන බාහිර පරිසරයෙහි සිදුවන ආර්ථික, දේශපාලනික, නෛතික, සංස්කෘතික, තාක්ෂණික, ස්වභාවික විචල්‍යයන්ගේ සිදුවන නිරන්තර වෙනස්කම් සලකා බලමින් කළමනාකරුවන් විසින් උපායමාර්ග දියුණු කළ යුතු බවයි.

(c) Shilpa Sayura Foundation 2006-2017