පරමාණුක දැලිස
 කාබන් ස්වභාවිකව පවතින එක් ආකාරයක් වනුයේ දියමන්ති ලෙසට ය. දියමන්ති තුළ ඇත්තේ ද සහසංයුජ බන්ධන ය. එනමුත් එම බන්ධනවල ස්වභාවය තරමක් වෙනස්ය. දියමන්ති තුළ අඩංගු පරමාණු එකින් එක සමග සහසංයුජ බන්ධන සාදා ගනිමින් විශාල ව්‍යූහ සාදා ගනී. 

එබැවින් දියමන්ති ව්‍යූහයක් තුළ නිදහසේ පවතින සරල සහසංයුජ බන්ධන නොමැත. සෑම කාබන් පරමාණුවක් ම යාබඳව ඇති තවත් කාබන් පරමාණු හතරක් සමඟ සහසංයුජ බන්ධන හතරක් සාදා ගනිමින් 2.28 රූපයේ දැක්වෙන ආකාරය විශාල ත්‍රිමාන දැලිසක් සාදා ගනී. දියමන්ති තුළ අඩංගු පරමාණු වල ඉලෙක්ට්‍රෝන පිහිටා ඇති රටාව නිසා මෙසේ බන්ධන සාදා ගැනීම පහසු වී ඇත. මෙහි ඇති ව්‍යූහයට චතුස්තලීය ව්‍යූහය යැයි කියනු ලැබේ. 

එහි තල හතරක් පිහිටා තිබේ. මෙවැනි ව්‍යූහයක් මගින් බන්ධන සාදා ගැනීමේ දී නිදහස් ඉලෙක්ට්‍රෝනවලට පැවැතීමට කිසිදු ආකාරයක ඉඩක් නැත. එබැවින් දියමන්ති විද්‍යූතය සන්නානය නොකරයි. එසේම එහි ද්‍රවාංක සහ තාපාංක ඉහළ අතර ස්වභාවික හමුවන ද්‍රව්‍ය අතරින් දැඩි ම ද්‍රව්‍ය බවට පත්ව තිබේ.

එහි ආකර්ෂණිය පෙනුම ද දුර්ලභ බව ද නිසා මැණික් අතර වටිනාකමින් වැඩි ම මැණික් විශේෂය බවට දියමන්ති පත්ව තිබේ. එබැවින් දියමන්ති සහසංයුජ පරමාණුක දැලිස් අඩංගු යෝධ ව්‍යූහයකි. මිනිරන් ස්වභාවිකව කාබන් පවතින තවත් ආකාරයක් වේ.

එහි අඩංගු වන්නේ යෝධ පරමාණුක දැලිසක් මුත් එම දැලිසේ පිහිටීමේ රටාව දියමන්තිවලට වඩා වෙනස් ය. මිනිරන්වල අඩංගු කාබන් පරමාණු තුළ දියමන්තිවල මෙන් චතුස්තලීය ව්‍යූහයක් දැකගත නොහැකි ය. මිනිරන් පරමාණු පවතින්නේ ද්විමාන තලයක තට්ටු ලෙසට ය. මෙහි ඇති සෑම කාබන් පරමාණුවක් ම එම පරමාණුව පවතින තට්ටුවේ තවත් කාබන් පරමාණු තුනක් සමඟ ප්‍රබල සහසංයුජ බන්ධන තුනක් සාදා ගනී. එම හේතුව නිසා සෑම මිනිරන් පරමාණුවක ම නිදහස් ඉලෙක්ට්‍රෝන පිහිටයි. ද්විමාන තල ලෙස ඇති මිනිරන් තට්ටු අතර මෙම හේතුවෙන් නිදහස් ඉලෙක්ට්‍රෝන වළාවක් එම තට්ටු අතර ඇති වේ. මිනිරන් තුළින් විද්‍යූතය ගෙන යාමට මෙම ඉලෙක්ට්‍රෝන වළාව උදව් වේ. එසේම මිනිරන් වල ඇති ද්විමාන තට්ටු අතර ඇත්තේ දුර්වල ආකර්ෂණයක් බැවින් පහසුවෙන් තට්ටු අතර ලිස්සා යාම සිදුවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017