සහසංයුජ බන්ධනයක් ඇති වීමට බලපාන කරුණු
 

හයිඩ්රජන් අණුවක් උදව් කර ගනිමින් සහසංයුජ බන්ධනයේ ආකර්ෂණය වී පවතින ආකාරය පැහැදිලි කිරීමට ඇඳ ඇති රූප සටහනක් 2.18 රූපයෙන් දක්වා ඇත. ස්ථතික විද්‍යූත් ආරෝපණ පිළිබඳව මීට පෙර ඔබ හදාරා ඇති කරුණු නැවත මතකයට ගන්න. මෙහි දී සමාන විද්‍යූත් ආරෝපණ විකර්ෂණය කර ගන්නා බවත්, ප්‍රතිවිරුද්ධ විද්‍යූත් ආරෝපණ අතර ආකර්ෂණය සිදුවන බවත් ඔබට මතක ඇතැයි සිතමි.

පරමාණුවක් තුළ ද මෙවැනි ස්ථතික විද්‍යූත් ආරෝපණ දැක ගත හැකි වේ. පරමාණුවක මැද ඇති න්‍යෂ්ටියේ ඇත්තේ විද්‍යූත් ධන ආරෝපිත ප්‍රෝටෝනයි. එය වටා ඇති අවකාශය තුළ භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝනවලට ඇත්තේ විද්‍යූත් සෘණ ආරෝපණයි. 2.18 රූපයෙන් දක්වා ඇත්තේ සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති හයිඩ්රජන් අණුවකි. එම අණුව තුළ විද්‍යූත් ආරෝපණ නිසා ඇති වන ප්‍රධාන බල වර්ග දෙකක් ඇත. එනම්,

1) ප්‍රතිවිරුද්ධ ආරෝපණ අතර ඇති ආකර්ෂණ බල
2) සමාන ආරෝපණ වර්ග අතර ඇති විකර්ෂණ බල වශයෙනි.

මෙයින් ආකර්ෂණ බල ඇත්තේ ධන ආරෝපිත ප්‍රෝටෝනසහ සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන අතර ය. විකර්ෂණ බල ඇත්තේ ප්‍රෝටෝන ප්‍රෝටෝන අතරත් ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන අතරත් ය. එම අංශු අතර ඇත්තේ සමාන ආරෝපණයි. 2.18 රූපයෙන් ආකර්ෂණ බල පැහැදිලි ඊතල වලින් දක්වා ඇති අතර විකර්ෂණ බල තිත් සහිත ඊතල වලින් දක්වා ඇත.

මෙහි දී හයිඩ්රජන් අණුවේ අඩංගු ප්‍රතිවිරුද්ධ ආරෝපණ වර්ග අතර ඇති ආකර්ෂණ බල ප්‍රබලය. සමාන ආරෝපණ වර්ග අතර ඇති විකර්ෂණ බල දුර්වලය. එබැවින් හයිඩ්රජන් පරමාණු දෙක අතර සංශුද්ධ වශයෙන් වැඩිපුර ඇත්තේ ප්‍රබල ආකර්ෂණ බලයකි. එබැවින් මෙම යුගලය වෙන් කිරීම එතරම් පහසු නැත. අයනික බන්ධනක ආකාරයේ විද්‍යූත් අයන ස්වභාවයක් මෙහි දැක ගත නොහැකි වන්නේ සමස්ථයක් වශයෙන් ගත් විට සහ සංයුජ සංයෝගයක අඩංගු ධන ආරෝපණ සංඛ්‍යාවත් සෘණ ආරෝපණ සංඛ්‍යාවත් සමාන වීම නිසා ය.

(c) Shilpa Sayura Foundation 2006-2017