සහසංයුජ බන්ධන
 

විශ්වයේ බහුලව ම පවතින මූලද්‍රව්‍ය වන්නේ හයිඩ්රජන් ය. පාසැල් විද්‍යාගාරයේ දී ද හයිඩ්රජන් වායුව නිපදවා ඔබට අත්දැකීම් ඇතැයි සිතමි.

 

මෙම හයිඩ්රජන් ස්වභාවිකව පවතින්නේ තනි පරමාණු වශයෙන් නොවේ.

හයිඩ්රජන් පරමාණු දෙකක් කිසියම් ආකාරයකට බන්ධනය වී සෑදුන හයිඩ්රජන් පරමාණු යුගලයක් ලෙසිනි. මෙවැන්නකට හයිඩ්රජන් අණුවක් යැයි කියනු ලැබේ.

මෙසේ හයිඩ්රජන් අණුවක් සෑදෙන ආකාරය කෙසේ වන්නේ දැයි විමසා බලමු.

හයිඩ්රජන්වලට ආසන්නව ඇති උච්ච වායුව වන්නේ හීලියම් ය.

හීලියම් වායුව ඉතා සරල ඉලෙක්ට්‍රොනික වින්‍යාසයක් දරන අතර ඊට ඇත්තේ ශක්ති මට්ටම් එකකි. එයට දරා ගත හැකි ඉලෙක්ට්‍රෝන ගණන දෙකකි.

 

හයිඩ්රජන් පරමාණු දෙකක් එකතු වී එම ඉලෙක්ට්‍රෝන දෙක හයිඩ්රජන් න්‍යෂ්ටි දෙක වටා පොදුවේ භ්‍රමනය වූ විටෙක එම න්‍යෂ්ටි යුගලයේ ද බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඇති ආකාරයේ රටාවක් සකසා ගත හැකි වේ. එවිට හයිඩ්රජන් පරමාණුවලට හීලියම්වල ආකාරයේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයක් ලබා ගැනීමට පුළුවන.

 

මෙහි දී සිදු වන්නේ එක් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන දීමක් හෝ තවත් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් බඳු දෙයක් නොවේ. එබැවින් මෙහි අයනික බන්ධනය ස්වරූපය නොමැත.

මෙහි දී සිදු වී ඇත්තේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමය.

මෙසේ ඉලෙක්ට්‍රෝන පොදුවේ හවුලේ තබා ගැනීමෙන් ඇති වන බන්ධන සහසංයුජ බන්ධන ලෙස හඳුන්වනු ලැබේ. හයිඩ්රජන් පරමාණු ඇසුරින් එවැනි බන්ධනයක් සෑදෙන ආකාරය විමසා බලමු.

2.16 රූපයේ ඇති ආකෘතියේ වම් පැත්තේ දක්වා ඇත්තේ හයිඩ්රජන් පරමාණු දෙකකි. එක් පරමාණුවක ඉලෙක්ට්‍රෝනය කතිර ලකුණකින් ද අනිත් පරමාණුවේ ඉලෙක්ට්‍රෝනය තිතකින් ද දක්වා ඇත. එම ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තබා ගැනීමෙන් සහසංයුජ බන්ධනයක් සෑදී ඇති ආකාරය රූපයේ දකුණු පැත්තේ දක්වා ඇත.

හයිඩ්රජන් පරමාණු යුගලයක් ඉලෙක්ට්‍රෝන දෙකකින් බන්ධනය වී ඇති ආකාරය ආකෘතියක් ලෙස 2.17 රූපයෙන් දක්වා ඇත.

ඉලෙක්ට්‍රෝන යුගලයකින් සෑදෙන බන්ධනයක් නිරූපණය කරන්නේ එක් කෙටි ඉරි කැබැල්ලකිනි. එබැවින් හයිඩ්රජන් අණුව තුළ ඇති බන්ධනය 2.17 රූපයේ ආකාරයට දක්වනු ලැබේ. සමහර අවස්ථාවල දී තිත් දෙකකින් මෙවැනි සහසංයුජ බන්ධනයක් දක්වන අවස්ථා ද ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017