කියමන : හද්දා සාය යන්නට එකදා කා මළාය.
තේරුම : කෑදරකම විනාශයට මුලය.
අතීත කතාව - රටේ පැවති දුර්භික්ෂය නිසා දින ගණනක් කුසගින්නේ සිටි කෝතුහල නම් මිනිසෙක් සිය අඹුවද සමඟ වෙන රටක් සොයා ගියේය. දින ගණනක් කුසගින්නේ සිටි මේ දෙපලට ගොපලු ගෙයක් හමුවිය.
ගොපලු ගෙදර එදා දානයක් වූ හෙයින් ගිතෙල් මුසුකොට පිසූ කිරිබත් බොහෝ තිබිණි. කුසගිනි කාරයන් ගැන අනුකම්පා කළ ගොපල්ලා ද සිත් සේ කිරිබත් බෙදා දුන්නේය. දින ගණනක් කුසගින්නේ සිට රසවත් කිරිබතක් ලද මිනිසා කෑදර ලෙස කිරිබත් ගිල දැම්මේය. අඹුව ස්වල්පයක් පමණක් කෑවාය.
කෑදර ලෙස කෑ නමුත්, දිරවාගත නොහැකි වීමෙන් එකෙනෙහිම මගියා මැරී වැටිණි. එයින් දුකට පත් අඹුව පසුදින සැමියාගේ සිරුර ආදාහනය කරවා ගොපලු ගෙදරම නතර වූවාය.