වාතනය
 

ගෘහය තුළ හිරවී ඇති උණුසුම් වාතය ක්‍රමයෙන් පිට කර හැරීම හා පිටත ඇති සාමාන්‍ය වාතය ඇතුළු කිරීම මඟින් අභ්‍යන්තර උෂ්ණත්වය අඩු කිරීම මෙහි සිද්ධාන්තයයි. මෙය තරමක් ශීත කාළගුණික තත්ව යටතේ වඩාත් ඵලදායි වේ. බාහිර උෂ්ණත්වය 20 °c ට අඩු අවස්ථාවලදී විනාඩියක දී බිම් වර්ග අඩියකට ඝන අඩි 8 , 25 °c - 32 °c පමණ පවතින විට ඝන අඩි 11.17 ද (දළ වශයෙන් හරිතාගාර පරිමා 1 ක්) පමණ වේගයකින් වායු හුවමාරුව සිදු විය යුතුයි.මේ අනුව අභ්‍යන්තර වායු පරිමාව, ගෘහයේ වර්ගඵලය(භූමියේ), සුළඟේ වේගය හා දිශාව ආදී කරුණු වාතන උපක්‍රම සැළසුම් කිරීමේදී සැළකිල්ලට ගත යුතුය.

වාතනය දියුණු කිරීමේ ක්‍රම

  • වා කවුළු(vents)
  • විදුලි පංකා(fans)
  • උත්ස්වේදන සිසිලනය
වා කවුළු
වාතනය දියුණු කිරීමේ ප්‍රධාන ක්‍රමය වාතනය ඇති කිරීමයි.උණුසුම් වාතය ඝනත්වයෙන් අඩු නිසා ඉහළ මට්ටැමින් වාතය පිට වන ලෙස වහලයේ(පියස්සේ) හෝ ඊට ආසන්න පෙදෙසක කවුළු ඉදි කරයි.
සිසිල් වාතය පහළ මට්ටමින් ඇතුළු කර ගැනීම සඳහා පහළින් ද කවුළු තිබිය යුතුය. මේවා තුළින් පළිබෝධකයින් ඇතුළුවීම වැළැක්වීමට උපක්‍රමයක් ලෙස මේවා සිහින් දැලකින් ආවරණය කළ යුතුය. එහෙත් මෙම දැල් ඉතා සූක්ෂම වුවහොත් නැවතත් වාතනයට බාධාවක් වේ.

විදුලි පංකා
වාතනය දියුණු කිරීමේ දී විදුළි පංකා භාවිතය වඩාත් කාර්යක්ෂම උපක්‍රමයකි.වාතය ඇතුල් කිරීම හෝ පිට කිරීමට අවශ්‍ය මට්ටම්වල
වාතය ඇතුලට ඇදී එන(inlet) ලෙස හෝ පිට වන(exhaust)ලෙස විදුලි පංකා ගෘහයේ බිත්තියට සවි කෙරේ.
තවද ආරක්ෂිත ගෘහය තුළ උසට භෝග වැවී ඇති විට අභ්‍යන්තර වාත ගලනය දුර්වල මට්ටමක පවතින නිසා, උණුසුම් වායු කැටිති යම් යම් ස්ථානවල සිරවී පැවතිය හැක. මෙවැනි අවස්ථාවලදී පාරිසරික තත්ව ඒකාකාරව පවත්වාගෙන යාම සහ එමඟින් භෝගයේ වර්ධනය ඒකාකාරව පවත්වා ගැනීම අපහසු වේ. එබැවින් එම අවස්ථාවල සුදුසු පරතරයකින් විදුලි පංකා කිහිපයක් යෙදීම අවශ්‍ය වේ.

දිවා උෂ්ණත්වය ඉතා අධික මට්ටමක පවතින විට හෝ අර්ධ-ශුෂ්ක ප්‍රදේශ වල මෙම වාතන ක්‍රම සියල්ල යෙදුව ද අභ්‍යන්තර උණුසුම පාලනය කළ නොහැකි අවස්ථා පැන නගී. එවිට එවන් සිසිලන ක්‍රම යොදා ගැනීම හෝ ගෘහයේ බාහිර ආවරණ වලින් කොටසක් මුළුමනින්ම ඉවත් කිරීම යෝග්‍ය වේ.

උත්ස්වේදන සිසිලනය
සාමාන්‍ය වාතන ක්‍රමවලට වඩා ප්‍රථිඵලදායි ක්‍රමයක් වේ. මෙහිදී ගෘහ අභ්‍යන්තරයේ උණුසුම් වාත ස්කන්ධ වෙත සියුම් ජල බිඳිති ඉසීමත් ඒවා වාෂ්පීකරණයේ දී තාපය අවශෝෂණය වීම නිසා අවට උෂ්ණත්වය පහත වැටේ. මේ සඳහා ෆෑන් පැඩ් ක්‍රමය හා ෆොග් ක්‍රමය භාවිතා වේ. මේවායේ මිළ අධික නිසා ලංකාවේ භාවිතා නොවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017