ආර්ද්‍රතාවය පාලනය
 

ආර්ද්‍රතාවය හෙවත් වායුගෝලයේ අඩංගු ජල වාෂ්ප ප්‍රතිශතය විවිධ අයුරින් බෝග වගාවන්ට බලපායි. ශාක වර්ධනය සඳහා මහඟු සේවයක් ඉටු කරන උත්ස්වේනය(transpiration) මින් ප්‍රධාන වේ. ඒ සඳහා මධ්‍යස්ත ආර්ද්‍රතාවය (60/70%) වඩාත් යෝග්‍ය වේ.
තව ද අධික ආර්ද්‍රතාවය විශේෂයෙන් දිලීර රෝග පැතිරීමට දායක වේ. අඩු ආර්ද්‍රතාවයේදී පැතිරෙන රෝග හා පලිබෝධකාරක වර්ග ඇත. තවද අධික ආර්ද්‍ර තත්ව යටතේ වාෂ්පීකරණ සිසිලන ක්‍රමවල කාර්යක්ෂමතාවය ද අඩු වේ.

භෝගයේ ස්වාභාවය හා වර්ධක අවධිය අනුව සුදුසු සාපේක්ෂ ආර්ද්‍රතා අගයන් ඇත. එළවළු වර්ග සඳහා අළ වශයෙන් 60% ක් පමණ ආර්ද්‍රතාවයක් යෝග්‍ය වේ. බිගෝනියා , මීවන ආදී අලංකාර පැළ වර්ග අධික ආර්ද්‍රතාවය ප්‍රිය කරයි.

ආර්ද්‍රතාවය මැන ගැනීමට ආර්ද්‍රතාමානයන් භාවිතා කරයි. තෙත් වියළි උෂ්ණත්වමානය මින් එකකි.

ආර්ද්‍රතාවය අඩු කිරීම
අධික ආර්ද්‍රතාවයෙන් මිදීම සඳහා අවශ්‍ය පරිදි වාතනය ඇති කිරීම පහසුවෙන් කළ හැකිය. එහෙත් වැසි හෝ මිහිදුම් සහිත ාළගුණික තත්ව යටතේ මෙම උපක්‍රමය ප්‍රායෝගික නොවේ. එවන් අවස්ථාවල දී රික්තක පොම්පයක්(vacuum pump) හෝ අවශෝෂක ද්‍රව්‍ය (absorbents) උපකාරයෙන් වායුගෝලයේ ජල වාෂ්ප උරා ගැනීම කළ හැකිය.මෙවන් උපකරණයන් ඩිහියුමිඩිෆයර්(Dehumidifier) ලෙස ද හඳුන්වයි. අභ්‍යන්තර උෂ්ණත්වය සුළු ප්‍රමාණයකින් වැඩි කිරීමෙන් ද HR තරමක් අඩුකළ
හැක.

ආර්ද්‍රතාවය වැඩි කිරීම
අඩු ආර්ද්‍රතාවයේ දී සිදු වන සීඝ්‍ර උත්ස්වේදනය නිසා ශාක මැලවීමට ලක් වීම වළක්වාලනු පිණිස ආර්ද්‍රතාවය වැඩි කිරීමේ අවශ්‍යතාවය මතුවේ. බොහෝ විට වියළි හෝ අතරමැදි කළාපය තුළ මෙම තත්වය දක්නට ලැබේ.ගෘහ අභ්‍යන්තරය ජල සම්පාදනය මඟින් හෝ මීදුම් ජනනය(mist generation) මඟින් හෝ මෙම කටයුත්ත පහසුවෙන් සිදු කළ හැකියි.තව ද ගෘහයේ වාතනය අඩු කිරීම තවත් උපක්‍රමයකි. ආර්ද්‍රතාවය වැඩි කිරීම ආර්ද්‍රතාවය අඩු කිරීමට වඩා පහසුවෙන් කළ හැකි කටයුත්තකි. විසිරුම් ජල සම්පාදනය(sprinkler irrigation) හෝ ෆෑන්-පෑඩ් සිසිලනය වැනි ක්‍රම භාවිතයේදී ගෘහ අභ්‍යන්තරයේ ආර්ද්‍රතාවය වැඩිවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017