කියමන : අවංකකම වීරකමේ පදනමලු.
තේරුම : අවංකව කටයුතු කරන්නා වීරයෙකි.
අතීත කතාව - දෙවන රාජසිංහ රජු ගම්වැසියෙකු සේ වෙස්වළාගෙන යුද කඳවුරුවල සැරිසරන සිරිතක් තිබිණි. දිනක් මෙසේ ඌවට යන මගියෙකු සේ වෙස්වළාගත් රජු මානාකොළ නම් කඩඉම කරා ගියේය. හවඩියා නම් සිංහල භටයෙක් කඩඉම මුරකරමින් සිටියේය.
වෙස්වළා සිටි රජු එහි නතරව එතැනින් පැනයාමට කොතෙක් උත්සාහ කළද එය සාර්ථක නොවීය. අවසානයේ කිසියම් පඬුරක් ගෙන එතනින් යාමට අවසර දෙන ලෙස රජු බැගෑපත් විය. එවිට හේවායා කතාකොට මම මහ වාසලට පක්ෂව රාජකාරි කිරීමට බැඳී සිටිමි.
නුඹගේ පඬුරු වලින් මට කාරියක් නැහැ. නුඹ සතුරාගේ ඔත්තු කරුවෙකුත් විය හැකියි. ජීවිතයට ආසා ඇත්නම් වහා මෙතනින් පිටව යව යි තර්ජනය කළේය. භටයාගේ අණට කීකරු වූ රජු ආපසු හැරී යන්නට විය.
පසුදින හවඩියා මහ වාසලට කැඳවූ රජු පෙරදින කඩඉම පසුකර යාමට පැමිණියේ තමා බව පහදා දුන්නේය. මින් බියටපත් හේවායා රජු ඉදිරියේ වැඳ වැටෙමින් සමාව ඉල්ලන්නට විය. භටය, තා වීරයෙකි, අවංකකම වීරත්වයේ පදනමයි. කී රජ හවඩියාට තාන්න මාන්න දී රාජකාරියෙන් ද උසස් කළේය.