මුදුන් බද්ධය
 

යම්කිසි ශාකයකින් ලැඛෙන අස්වැන්න අඩුනම් සහ අස්වැන්න නොලැබේ නම් එහි අස්වැන්න වර්ධනය කර ගැනීම සඳහා මෙම ක්‍රමය යොදා ගත හැකිය. ශාකයේ අත්තකට පමණක් හෝ ප්‍රධාන කඳට මෙම ක්‍රමය යෙදිය හැකිය. මුලින්ම කරනුයේ ප්‍රධාන කඳ හෝ අත්ත හරස් අතට කැපීමයි. ඉන් ඉහළ කොටස ඉවත් වේ. ඉන්පසු තෝරාගත් අනුජයේ මහතට ගැළපෙන සේ කඳේ කැපුම් මට්ටමේ සිට සමාන්තර කැපුම් දෙකක් පහළට යොදන්න. එහිදී පොත්ත පමණක් කැපෙන සේ එම කැපුම් යොදා පොත්ත බුරුල් කරන්න. මහතින් වැඩි ගස් සඳහා බද්ධයන් කිහිපයක්ම මෙලෙසට කරගත හැකිය. අක්‍රීය අග්‍රස්ථ අංකුරයක් සහිත අනුජයක් සෙන්ටි මීටර 3 ක් පමණ වන පහළ කෙළවරින් උල් හැඩයට සකස් කොට ග්‍රාහකයේ කැපුම සමග ස්පර්ශ වන පරිදි තබා තදින් වෙලීම කරන්න.

 



මුදුන් බද්ධය සඳහා පොතු රිකිලි බද්ධය


මුදුන් සැකසීමට සරල ක්‍රමය ලෙස සඳහන් කළ හැක. බද්ධ කරන අත්තේ පැලූම හොදාකාරව සිදු නොවන අවස්ථාවල මෙම බද්ධ ක්‍රමය ඉතා වැදගත් වේ. පොත්ත ලිස්සන සුළු වන විටදීත් අංකුර ඉදිමීමට පටන් ගන්නා විටදීත් පොතු රිකිලි බද්ධය සිදුකිරීම වැදගත්ය.

පොතු රිකිලි බද්ධය කරන අන්දම
(01) පොතු රිකිලි බද්ධය කරන අත්තේ සෙන්ටි මීටර් 5 - 6 ක් පමණ විශ්කම්භය ඇති ස්ථානයේ ඉහළ කොටස තියුණු කියතකින් කපන්න. පොත්ත තුවාල වීම හෝ ඉරීමක් සිදුනොවිය යුතු බව හොඳින් මතක තබා ගන්න.
(02) කපන ලද අත්තේ දෙපැත්තේ දිග සෙ. මී. 4 ක් පමණ කැපුම් දෙකක් දිග අතට කපන්න. අවශ්‍ය නම් අත්තේ විශ්කම්භය අනුව කැපුම් 3 ක් වුවද කරන්න.

 



(03) මීළඟට පොත්ත ලී යෙන් වෙන් කරන්න.

 



(04) පැන්සලක ඝනකම ඇති අංකුර 3 ක් ඇති අනුජයක් ගන්න. එය පොතු රිකිලි බද්ධයට සුදුසු විදිහට කපන්න. කපා අත්තේ කැපූ තැනට ඇතුල් කරන්න. දෙවැනි අනුජයද ඊට විරුද්ධ පැත්තෙන් ඇතුල් කරන්න.
(05) පසුව වෙලූම් පටි වලින් තදට ඔතා අනුජයන් ලීයට හොඳට සම්බන්ධ කරන්න.

 


මුදුන් සැකසීම කළ පසු
• කැපු අතු වල මතුපිට ලැකර් තීන්ත ගාන්න.
• සියලූම ගස්වල බෝඩෝ මිශ්‍රණය ගාන්න.
• සම්පූර්ණයෙන් මුදුන් සැකසීම කල ගස් වල කඳ පැලීමේ සැකයක් ඇත්නම් ප්‍රධාන කඳ වටා ගෝනියක් ඔතා නිතර තෙතමනයෙන් තබන්න.
• බද්ධ කර අනුජයේ වියළීම වැළැක්වීමට බද්ධ කළ සන්ධිය සම්බන්ධවීම ස්ථීර වීමටත් අනුජයක් පොලිතින් බෑග් වලින් හෝ කෙසෙල් පිති වලින් වසා තබන්න.
• අංකුර වැඩුණු බව නිරීක්ෂණය කළ විට පොලිතින් බෑග් ඉවත් කරන්න.

මුදුන් සැකසීමක් සාර්ථක වීමට
(1) ගසේ අතුවල විශ්කම්භය අනුව එකම ගසේ විවිධ බද්ධ කිරීම් තෝරා ගන්න.
(2) සම්පූර්ණ මුදුන් සැකසීමක් එකවිටම කරනවාට වඩා කොටස් කිහිපයක් වශයෙන් මුදුන් සැකසීම උචිත අවස්ථාවේදී කරන්න. ඉතා පැරණි ගස් වලට නම් මෙය වඩා සාර්ථක ක්‍රමයකි. එකම ගසේ එක් කොටසක් එක් ඍතුවකදී ද, අනෙක් කොටස ඊළඟ ඍතුවේදී ද මුදුන් සැකසීම කර සාර්ථක බව නිරීක්ෂණය කර බලන්න.
(3) පොතු ගැලවීම පහසු කිරීමට බද්ධ කිරීමට දින 8 - 10 කලින් යූරියා ස්වල්පයක් සමග හොඳ ජලය සම්පාදනයක් සිදු කරන්න.

ඔබේ ගෙවත්තේ ඇති නොවටිනා පලතුරු ගස් වටිනා පලතුරු ගස් බවට පරිවර්ථනය කරගන්න. එයට මුදුන් සැකසීමක් කරන්න. (මුදුන් සැකසීම පිළිබඳ තොරතුරු රැස්කිරීමේදී බිදුණු වැව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ කෘෂි ව්‍යාප්ති සේවා නිලධාරී ඩබ්. ඩී. තිලකරත්න මහතාගෙන් ලැබුණු සහාය ඛෙහෙවින් අගය කරයි)

(c) Shilpa Sayura Foundation 2006-2017