වැඩි තණ්‌හාවෙන් හාල් මනාවේ වැලි දාහත්තලු
 

කියමන : වැඩි තණ්‌හාවෙන් හාල් මනාවේ වැලි දාහත්තලු.
තේරුම : තණ්‌හාව විපතට මුල්වන බව

අතීත කතාව : ගල් ඔරුවක්‌ පැදගෙන මක්‌කං වැල්ලට ආ දෙවියෙක්‌ දිය පිපාසයෙන් වූ තෙහෙට්‌ටුව නිසා වැල්ලේ වැතිර සිටියේය. ඔහු දැක අනුකම්පා කළ එක්‌ දුගී කාන්තාවක්‌ දිය ගෙනවුත් බොන්නට දී ඔහු සුවපත් කළාය.

දුගී කාන්තාව කළ උපකාරයට ප්‍රති උපකාර දැක්‌වීමක්‌ ලෙස ඇයට වරයක්‌ ලබාදෙන්නට එකඟ වූ දෙවියා, ඇය අතට නෑඹිළියක්‌ දී "නුඹේ ගෙදර බතට සහල් උවමනා වූ විට කාටවත් නොපෙනී මේ නෑඹිලියට මුහුදු වැලි පුරවාගෙන පලයන්. හැබැයි උවමනා තරමට වඩා ගන්න එපා." යි කීය.

දෙවියන් කී ලෙස ඇගේ නෑඹිළියට ගත් වැලි සහල් බවට පත් වී තිබිණි. කලක්‌ මෙසේ දිවි ගෙවූ ඇයට සහල් වැඩියෙන් එකතුකොට විකුණා පොහොසත් වීමේ අදහසක්‌ පහළ විය. ඇය පෙට්‌ටියක්‌ ගෙන මුහුදු වෙරළට ගොස්‌ නෑඹිළියෙන් ගත් වැලිවලින් පෙට්‌ටිය පුරවා ගත්තාය.

එදා පෙට්‌ටිය පිරී තිබුණේ වැලි වලිනි. ඉන්පසු කිසිම දිනෙක නෑඹිළියේ වැලි සහල් බවට පත්වූයේ නැත.

(c) Shilpa Sayura Foundation 2006-2017