කියමන : ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ
තේරුම : අනුන් රවටන්නට යාමෙන් තමන් රැවටෙන බව.
අතීත කතාව - එක ගමක එකට එන යන, එකට කනබොන, එකට වාසය කළ ආඬිගොල්ල හත්දෙනෙක් වූහ. දිනක් එක් අම්බලමක නවාතැන් ගත් මේ ආඬි ගුරෝ සත්දෙන කැඳක් පිසීමට කතිකා කර ගත්හ.
ඒ අනුව ලිප ගිනි මොලවා, දිය සැළිය ලිප තබා "ඔන්න දිය හැළිය ලිප තිබ්බා. හැම කෙනාම එක එක හාල් මිට දිය හැළියට දමමු" යි ඔවුන්ගේ නායකයා කීය. මෙවිට එක් ආඬි ගුරෙක් තම පසුම්බිය ගෙන හැලිය ළඟට ගොස් බොරුවට අත ඔබා "ඔන්න මගේ හාල්මිට දැම්මා."යැයි කීය. අනෙක් සියල්ලෝද එකිනෙකා රවටමින් එසේ කළහ. මෙසේ සත්දෙනම සහල් දමා කැඳ පිසවා බීමට සූදානම්ව බැලූ පසු එහි තිබුණේ උණු පැන් පමණී.
මා නොදැමුවාට අනෙක් සයදෙනා සහල් දැම්මාම මදැයි සිතා එකිනෙකා කළ රවටාගැනීමෙන් හෙම්බත් වූ ආඬින්ට එදින උණුපැන්වලින් පමණක් සෑහීමට පත්වීමට සිදුවිය.