කියමන : කළුවා මාරපන් ගියා වගෙයි.
තේරුම : සැලසුමක් නැති වැඩ කටයුතු සම්බන්ධයෙන් මේ කියමන යෙදේ.
අතීත කතාව - කළුවා කෝරලේ වලව්වේ සුච්ච කීකරු මෙහෙකරුවාය. එමෙන්ම ඔහු මෝඩපහේ ගැමියෙක් ද විය. දිනක් සවස් යාමයේ කළුවාට කතාකළ කෝරලේ රාළහාමි, "කළුවා.....හෙට උදෙන්ම මාරපන් යන්න තියෙනවා. මතක තියාගනින්" යැයි කීය.
පසුදින උදේ තම පණිවුඩය දී කළුවා පිටත් කර යැවීමට සිතු කෝරලේ තැන කළුවා සෙවූ නමුත් ඔහු සොයාගත නොහැකි විය. නොඉවසිලිවන්තව දවස මුළුල්ලේම බලාසිටි කෝරලේ නිළමෙට නැවත කළුවා දකින්න ලැබුණේ ඉර බැසගොස් හෝරා කීපයක් ද පසුවය.
"ඈ යෝදයෝ.....ගමනක් යන්ට ඇත කියලා මා උඹට කියලත් උඹ මෙතෙක් වෙලා කොහෙ මකබෑ වුණාද?" නිළමේ ගෝරනාඩු කළේය.
"ඇයි හාමුදුරුවනේ මං එළිවෙන්න කලියෙන්ම මාරපන් ගියානේ..."
කළුවාගේ පිළිතුර විය. ඔහු කීවේ සැබෑවකි.
එහි යා යුත්තේ කුමකටදැ'යි දැනගැනීමට උනන්දු නොවූ කළුවා හිමිදිරියෙන්ම නැගිට මාරපන වලව්වට ගොස් කා බී සප්පායම් වී සවස ආපසු පැමිණ තිබිණි.