නො මැරෙන යාගය
 

පස දා උදේ කිරි හාමිනේ ගමේ යකැදුරා ගේ ගෙදරට ගියා ය. "අපේ ගෙදරට අද එළිය ගෙනාවා ද?" යි යකැදුරා ඇසී ය. "ඔව්, යකැදුරු හාමි, මා ආවේ බොහොම වැදගත් කටයුත්තකට යි. එය රහසින් කියන්නට ඕනෑ" යි කිරි හාමිනේ කීවා ය.

යකැදුරා හාමිනේ ගේ උවමනා ව කියන්නට අවකාශ ගෙන දුන්නේ ය. තමා ගේ රහස කිසිවකුට නො කියන ලෙස ගිවිස්‌වා ගෙන, කිරි හාමිනේ සැමියා ගේ තොරතුරු සියල්ල කීවාය. "මහ නින්දා නොවේ යැ? මිනිසුන් දැන ගත හොත් මටත් මගේ දරුවාටත් රටේ හිටින්නට ලැවෙන්නේ නෑ. අනේ, යකැදුරු හාමි, මීට සුදුසු උපායක්‌ යොදන්න. මා ඒ ගැන හොඳට සලකනවා"
කිරි හාමිනේ ගේ වචනය අසා, හේ මදක්‌ සිතිවිල්ලේ උන්නේ ය. "හොඳා මා ඊට ගුරුකමක්‌ කරනවා. දුක්‌ වෙන්නට කමෙක්‌ නෑ. අපි කිරි හාමිට යාගයක්‌ කරමු. ඔහුට දැන් ගොහින් කියනවා.

මේ යාගය කළාට පස්‌සේ නම් හිසත් පයත් කො පමණ සීතල වුණත් මැරෙන්නේ නෑ කියා. වුවමනා දේ දන්නවා නොවැ. කෙහෙල් කදැක්‌, ගොප් අත්තක්‌, මල් ටිකක්‌, තවත් යාගයකට ගන්නා දේ? හැබැයි හයියෙන් ආ වඩන්නට ඕනෑ."
කිරි හාමිනේ සිනා සෙමින් ගෙදර බලා පිටත් වුණා ය.

ගෙදර ගොස්‌ කිරි හාමි ගේ බඩ පුරවා සතුටු කොට යාගය ගැන ද මතක්‌ කළා ය. "ඉතින් බය නැතිව ඉන්නවා. අපේ යකැදුරු හාමි කීවා, යාගයක්‌ කරන්නට එනවා කියා."
"කාට ද, යාගය? කුමකට ද?"
"යාගය ඔබට, හිසත් පයත් සීතල වුණු දා මැරෙනවාට."
"ඉතින් යාගය කළාම කුමක්‌ වෙනවා ද?"
"කොපමණ සීතල වුණත් මැරෙන්නේ නෑ"
කිරි හාමි සතුටින් උඩ පැන්නේ ය. බිරින් දෑ වටා බිම පෙරැළුණේ ය. දරුවා වඩා ගෙන හිස පටන් දෙපතුල දක්‌වා සිඹ, "ඉතින් බිය වෙන්නට එපා, පුතා" යි කීයේ ය. තව ද යාගයේ තොරතුරු ඇසී ය.

"නෑ, හෙට. හෙට බදාදා නො වේ ද? ඔව්, හෙට, හෙට."
"ඉතින් කුමක්‌ ද, මට කරන්නට කියන්නේ?"
"කෙහෙල් කඳක්‌, ගොප් අත්තක්‌, මල් ටිකක්‌, තවත් වුවමනා දෙ සපයා තබනවා, හැබැයි, අදට යන්තම් හිසත්, පයත් සීතල නො කැර ගෙන ඉන්නවා."
පසුදා යකැදුරා අවුත් මල් බලියක්‌ තනා මුල්ලෙක තැබී ය.

රෑ බත් කා යාගය පටන් ගත්තේ ය. කිරි හාමි එක්‌ සුදු කඩක්‌ හැඳ ගෙන, අලුත් පැදුරෙක හිඳ ගත්තේ ය. කිරි හාමිනේ දරුවා ද වඩා ගෙන පසෙකින් හුන්නා ය. නෑ දැයෝ කීප දෙනෙක්‌ බලා හුන් හ. එකෙක්‌ අඟුරු දුම්මල අල්ලයි. එකෙක්‌ විලක්‌කු තෙල් පොවා දල්වයි. හැඩි දැඩි කොල්ලො දෙන්නෙක්‌ කන් බිහිරි කරවන තරම් හයියෙන් ආ වඩති. යකැදුරා යදී, කව් කියයි., නටයි, මතුරයි, දුම්මල අල්ලයි. බලා ඉන්නො බුලත් කති. කිරි හාමි මහත් ඇදැහිල්ලෙන් ඇස්‌ දල්වා ගෙන, කට අයා ගෙන, හිඳගත් වන ම හිඳී.

කුක'ලන් හඩ ලද්දී යකැදුරා තදින් ම නටා, බිම අඩි හපා, කර කැවී, වැටී, බෙරයට රවා, යකුන් බය ගන්වා ආතුරයාදෙසට හැරුණේ ය. වියත් එක හමාරක්‌ පමණ ගිණි දළුවක්‌ විහිදුවන විලක්‌කුව කිරි හාමි ගේ මුහුණට හොඳට ම ලං කළේ ය. හිසත් පයත් පමණක්‌ නොවේ මුහුණ පපුව බඩ පිට යනා දී මෙකී නොකී කොතැන කොපමණ සීතල වුණත් මැරෙනවා ද මෙසේ මහ හෙන හඩින් ඇසී ය. හොඳට ම බිය වූ කිරි හාමි ගේ කටින් නිකම්ම නෑ යි කියැවුණේ ය.

"මැරෙනවාද"
"නෑ"
"මැරෙනවාද"
"නෑ"
මෙසේ තුන් වරක්‌ ගිවිස්‌වා "පස්‌වා දහසකට ආවඩා ආයු බොහෝ වේවා ආයු බොහෝ වේවා ආයුබොහෝ වේවා යි" කියා යකැදුරා අසල තිබුණ දිය පීරූ කොරහ කිරි හාමිගේ හිසට නැමුවේ ය. කිරි හාමි ගේ සර්වාංගය සීතල විය. එහෙත් හේ අතක්‌ නොසෙල්විය. පයක්‌ නොනැටවිය. හඬක්‌ නොනැගීය. එ දැ ද හේ නො මළේ ය. යාගය සඵල විය.

කිරි හාමිනේ ගේ සතුටේ කෙළවරක්‌ නැත. උදය කිරි බතින් සංග්‍රහ කොට ඒ බුලත් කොළයක එතු යම් කිසිවක්‌ ඇදුරා අත තැබුවා ය. ඇදුරා දත් මදක්‌ දක්‌වමින් එය මඩොක්‌කුවේ ලා ගෙන පිටත් වූයේ ය. කිරි හාමිගේ අපල දුරු වූයෙන්, ඉන් පසු හිසත් පයත් සීතල වීම මරණයට හේතු නොවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017