තම බිරින් දෑ ගේ හැඬීම ඇසූ කිරි හාමි ට බොහෝ හිත් වේදනාව ඇතිවිය. "අනේ, නො මැරුණා නම් හොඳය." යි ද සිතුණේ ය. එහෙත් තමා මැරුණ බවට නම් කිසිම සැකයෙක් නැත. "දිවැස් ඇති හාමුදුරුවන් හටත් වරදින්නට පුළුවන් ද? මා ගේ හිසත් පයත් එක සැටි ම සීතල වුණා නොවෙ ද? මා මළා ම තමා.
"මළා ම තමා" යි සිතු නමුත් කිරි හාමි බිරින්දෑ ට අවවාද කෙළේය. "අනේ, මා මළාට මැරෙන්නට හිතන්නට එපා. අප දෙන්නාම මැරුණා ම දරුවාට යන කළෙක් නෑ. දරුවා රැක බලා ගෙන ඉන්න. දරුවා දකින කල මා මතක් වේවි. අඬන්නට එපා අඬලා කුමක් කරන්නට ද? කො පමණ කල් සිටියත් මැරෙනවා නොවේ යැ?"
කිරි හාමි මෙසේ කියන කළ කිරි හාමිනේ තව ඇඩූවා ය.
"මා මැරෙනවා ම යි. මා ඉඳීමෙන් දැන් වැඩෙක් නෑ. මේ ගඟට ම පනිනවා" ඇය මෙසේ කියන්නා හා ම කිරි හාමි තමා මළ බව මතක් නොවී, දකුණතින් ඇයගේ අත අල්ලා ගත්තේ ය. වමත ද දෙපය ද තුබුණු සේම තබා ගෙනම ඇස් පියා ගෙනම ඇය නවතන්නට උත්සහ කෙළේය.
"ගඟට පනින්නට එපා. මා නො මැරුණා නම් ඔබට මැරෙන්නට දෙන්නේ නෑ. අර එදා වාගේ මට පණ දෙන්නට බැරිද?" කිරි හාමිනේ ට උවමනා වුණේ ති ඒ ම ය. ඒ හෙයින් හැඬීම නවත්වා මෙසේ කීවා ය.
"පණ දෙන්නට පුළුවනි. හැබැයි, රට පැළෙන්නට මර හඬ නො දෙනවා නම්"
"ඇයි හඬ දුන්නොත්?"
"හඩ දුන්නොත් මිනිසුන් ඒවි, මේ ගුරු කම දැනගනීවි."
"එහෙනම් එදා වගේ මා මැරෙණ තරමට අල්ලන්නට එපා."
"හොඳයි. එහෙම නාල්ල පණ නාවොත්?"
"පණ ඒවි"
"පණ ආවාම එහෙ නම් කකුලක් හොල්ලන්න. හඬ දෙන්නට නම් එපා."
කිරි හාමි හඬ නොදෙන්නට ගිවිසියේ ය. කිරි හාමිනේ ඔහුගේ නාසය හා කට, හුස්‌ම නොයන තරමට පමණක් අල්ලා ගත්තාය. අමාරු වූ කිරි හාමි කකුලක් හෙල්ලුවේ ය. කිරි හාමිනේ අත් අහකට ගත්තා ය, "පණ ආවා දැ?" යි ඇසුවාය. "ඔව්, ආවා. එදා වාගේ අමාරු වුණේ නෑ."
"ඒ නොදන්නා දවසේ එසේ කළට දැන් රිදෙන්නට අල්ලනවා යැ?"
"අනේ ඉතින් දෙවරක් ම මැරිලා ඔබ නිසා උපන්නා. ඔබට ඕනෑ දෙයක් කියන්න."
"මේ වාගේ තවත් නොමැරෙණවා නම්, මට ඕනෑ එ ඔමණයි. හාමුදුරුවන්ගේ කීම බොරු වෙනවා නොවෙයැ?"
"හාමුදුරුවන් ගේ කීමට කුමක් වුණත් කමෙක් නෑ. මෙය මිනිසුන් දැන ගත්තා ම ලැජ්ජා නැද්ද?"
කිරි හාමි හිස සෙලෙව්වේ ය. "යමු යන්නට ගෙදර. මේ ගැන වඩ වඩා දොඩන්නේ කුමට ද? කරුමය අපට වළක්‌වන්නට බැහැ. හාමිදිරුවන් ගේ කීම කිසි කලෙක වරදින්නට බැහැ." මෙසේ කියා කිරි හාමි දරුවා වඩාගෙන බිරින්දෑත් කැඳවා ගෙන ගෙදර බලා පිටත් විය. කිරි හාමිනේ ලැජ්ජායෙන් බිම බලා ගෙන ගියා ය.
කිරි හාමිනේ ගෙදර යන නමුත් ඇය ගේ හිත යන්නේ වෙන අතෙක ය. "මේ මෝඩ කම නැති කරන්නේ කෙසේද? මෙය දැන් ම නැති නො කොළොත් වන්නේ මහ නින්දාවයි. කල් නොයවා ම මීට යමක් කරන්නට ඕනෑ. "මෙසේ සිතමින් ගෙදර ගොස්, "කුමක් වුණා ද, කුමක් වුණා ද?" යි අසා ගෙන ආ අයට, "නැ ඒ නකම් සිහි නැති වුණ" යි කියා, වෙනදා මෙන් කටයුතු කළා ය.
