සය වන මරණය
 

කිරි හාමි දැන් පියෙකි. ඔහු ගේ කුඩා පුතා ගේ වයස සාර මාසය ය. කුඹුරේ සිට සවස ගෙදර ගිය විට දරුවා හුරතල් කිරීම විනා කිරි හාමිට වෙන කටයුත්තෙක්‌ නැත.

දිනක්‌ කිරි හාමි තද අව්වේ ගොයම් කපමින් සිට, දෑ කැත්ත නියර උඩ තබා, බතට ගියේ ය. නැවැත අවුත් දෑ කැත්ත ගත් කල එය තමා ගේ අත දවන තරම් උණු බව කිරි හාමිට දැනුනේ ය.

" අනේ, දෑ කැත්තට උණ ගැනිලා. අද ඉතින් ගොයම් කපන්නේ කෙසේ ද? මගේ පොඩි දෑ කැත්ත සුව කැර ගන්නේ කෙසේ ද?" මෙසේ සිතමින් කිරි හාමි දුක්‌ වුණේ ය. ඒ විටම ගමේ වෙදා ඒ අසලින් ගියේ ය. කිරි හාමි දිව ගොස්‌, දෑ කැත්ත වෙදාට පෙන්වා, " අනේ, වෙද හාමි, බලන්න, මගේ දෑ කැත්තට උණ.

මේකට ඉතින් කුමක්‌ද කරන්නේ?" ය යි කීය. වෙදා කිරි හාමි ගැන හොඳින් දන්නෙකි. එ හෙයින් දෑ කැත්ත අල්ලා බලා, "ඔව්, හොඳට ම උණ. මේකට මම හොඳ වෙදකමක්‌ කියන්නම්. මෙය අර ගඟට ගෙන ගොස්‌ දිය යට ඔබා ගෙන ඉන්නවා." කිරි හාමි දිව ගොස්‌ එසේ කෙළේ ය. දියෙන් ගත් කළ කුමන පුදුමයෙක්‌ ද? දෑ කැත්තට මඳක්‌ වත් උණ නැත. වෙදා ගේ හපන් කම ගැන පුදුම වෙමින් ගොස්‌ කිරි හාමි ගොයම් කැපුවේ ය.

එදා සවස ගෙදර යන විට කිරි හාමි ගේ නැන්දාට හොදට ම උණ ය. ගෙදර අය වෙද ගෙදර යන්නට සැරැසෙති. කිරි හාමි ඒ දැක, "හා, වෙද ගෙදර යන්නට ඕනෑ නෑ. දැන් උණට හොඳ වෙද කමක්‌ මා අසා ගත්තා. උණට ඒ වාගේ වෙද කමෙක්‌ තවත් නෑ. ඔසවා ගනිමු ලෙඩා" කිරි හාමි මෙසේ කියා, තවත් කීප දෙනෙකු ගේ උදව් ඇතිව, නැන්දා ඔසවා ගෙන ගඟ ළඟට ගියේ ය.

එහි දී කිරි හාමි ගේ මාමා "මේ කුමක්‌ කරන්නට යනවාදැ" යි ඇසීය. "බයක්‌ ගන්නට එපා. මගේ දෑ කැත්තට අද ගැණුන උණ කොපමණ තද ද? වෙද හාමි කී හැටියට මා එය ගඟේ ඔබා ගෙන උන්නා. දියෙන් ගත්තාම කෝ උණ? ඒ වෙදකම කරන්නට යි මේ යන්නේ."

කිරි හාමි මෙසේ කී කළ මාමා කිපී, ඔහු තල්ලු කැර දමා, ලෙඩා ගෙදර ගෙන ගියේ ය. කිරි හාමි මාමා තල්ලුයෙන් ලී කොටයක්‌ මෙන් ගඟේ වැටී, දිය යටට බැස්‌සේ ය. දියෙන් ගොඩ එනවාත් සමඟ ම ඔහුට මතක්‌ වූයේ මැරෙන දවසයි. එක අතක්‌ හිසටත් එක අතක්‌ පයටත් එක්‌ වර ම ඇදී ගියේ ය. ගඟේ වැටුණු මිනිහා ගේ හිසත් පයත් සීතල නොවේ ද? "මා මළා" යි පුරුදු හඬ නගාගෙන, කිරි හාමි ගං ඉවුර මත්තෙහි වැටුණේ ය. ලෙඩා ගෙන ගිය අයට මේ හඩ ඇසී දිව ආ කළ ඔවුන් දුටුවේ කිරි හාමි ගේ මළ කඳ ය. ඔවුන් ගේ කෑ කෝ හඬට කිරි හාමි ගේ භාර්යාව ද පැමිණියා ය.

කිරි හාමි නේ සිදු දෙය දනී. එහෙත් ඇත්ත එළි කරන්නට බිය වූවා ය. යම් වෙසෙකින් ඇත්ත දැන ගත හොත්, සියල්ලෝ ම ඇයට ද ඇය ගේ දරුවාට ද කවට කම් කෙරෙති. ඒ හෙයින් එයින් මිදෙන්නට සුදුසු උපායයක්‌ යෙදුවා ය.

"මා මෙතැන සිටිනවා. ඒ ඇති අම්මාට වෙදකම් කරවන්න. ගෙදර යන්න." මෙසේ කියා කිරි හාමිනේ තමා සැමියා වටා ගෙන සිටි සියල්ලන් ගෙදර යැවුවා ය. ඉක්‌බිති සැමියා ට පමණක්‌ ඇසෙන තරමට ඇඬුවා ය. "අනේ, ඉතින් මටත් මගේ දරුවාටත් යන කල! මා විතරක්‌ ඉඳ ලා කුමක්‌ කරන්නට ද? මාත් මේ තැන ම මැරෙනවා!"

(c) Shilpa Sayura Foundation 2006-2017