එදා නම් කිරි හාමිට බොහෝ වේලා එහි ඉන්නට සිදු නොවීය. දර කඩන්නට කැලෑවට ගිය තරුණියක් ඒ අසලට පැමිණියා ය.
ඒ තරුණිය එහි දර කැඩුවාම නොවේ. සිත ද පිනවා ගත්තා ය. පිපුණු නා මලින් දරනුවක් කොට එය හිසෙහි ලා ගත්තා ය. සපු මල් පෙති සිහින් වැලෙකින් අමුණා බෙල්ලෙහි ලා ගත්තා ය. දර කඩමින් මිහිරි ගී ද කීවාය. ඇගේ ගී අසා කුරුල්ලෝ උගන්නට තැත් කළා හ. ගස් වැල්හු හිස් සලමින් තාලය විමැසූහ. මල්හු රොන් වගුරුවමින් තුටු පඬුරු දුන් හ.
මළ කිරි හාමි ගේ කනට නම් මඳ මඳ පණ ආයේ ය. "කොපමණ මිහිරි කට හඩෙක් ද? සැක නෑ, ඒ නම් ගෑනු කට හඬෙකි. මේ ගී කියන ගැහැනිය බලන්නට ඇත්නම්, කිරි හාමි ගේ ඇසට ද මඳ පණ ආයේ ය. ඇස් ඇරුණේ ය. තරුණිය ගේ රූපය එහි ඇඳුණේ ය. ඇස් ඒ අතට ඇදුණේ ය. "අනේ, නො මැරුණා නම් මේ ළමයා උයන බත් මාළු බොහො ම රස ඇති. මට බත් උයා දෙන්නට හොඳ මෙහෙම කෙනෙක් තමා." මෙසේ සිතන විට කිරි හාමි ගේ කටට ද පණ ආයේ ය. "අනේ තව සිංදුවක් කියන්න." යි ඔහුට නිකම් ම කියැවුණේ ය.
තරුණිය තිගැස්‌සුණා ය. ඕ කවරෙක් දැ යි බැලුවා ය. හොද උස මහතින් හා පෙනීමෙන් යුත් කිරි හාමි දැක මඳක් බිම බලා "අනේ නිදාගන්නා තැනෙක හැටි" යි සෙමෙන් කීවාය.
"නිදා ගන්නවා, මා නිදා ගන්නවා නෙ වෙයි. මේ මැරිලා."
"මැරිලා දැන් බොහෝම දවස් ද?"
"නෑ, දැන් මේ මැරුණා විතරයි."
"හොඳ යි මැරිලා නම් දුවන්නේ නැත්තේ?"
"මැරුණ අය දිවුවා දැක්‌කා ද?"
"ඔව්, මා දැක්‌කා. අපේ මුත්තා මාස තුනකට ඉස්‌සර මළා. අවුරුදු දෙකකට ඉස්‌සර උන්දෑ පන්සලේ සිට අපේ ගෙදරට ම දුවනවා මගේ මේ ඇස් දෙකින් දැක්‌කා."
"ඒ නාකි මිනිස්‌සු. අපට නම් මළාම දුවන්නට බැහැ."
මෙයින් තරුණිය ට තරණෙයා ගේ තරම වැටහී ගියේ ය. මේ තරුණිය හොඳ තරුණයන් කීප දෙනෙකුට ම පවා දෙන්නට මව්පියන් සැරසුණු නමුත් කැමති නුවූවා ය. ඇයට රිසියෙන්නේ තමාට අණ දෙන පිරිමියෙක් නොවේ. තමා ගේ අණ පිළිපදින පිරිමියෙකි. ඒ සදහා මේ තරුණයා නම් හොද ම බව ඇයට පෙනුණේ ය.
"කොහි ද ඔබේ ගම?" යයි ඇයට නිකම් ම කියැවුණේ ය. "කුමට අහනවා ද, මා මළාට පස්‌සේ?"
"ඉතින් මේ ගන්නට බැරි පණෙක් යැ?"
අනේ පුළුවන් ද? පුළුවන්ද? පින් සිදු වන්නට මට පණ දුන්නොත් කියන අතකට හැරෙනවා."
තරුණිය තොල් තද කැර ගත්තා ය. "එහෙනම් පණ දෙන්නට ද, ගන්නට ද?"
"පළමු කොට මට පණ දෙන්න ඊ ළඟට මගේ පණ ඕනෑ නම් ගන්න."
තරුණිය උත්සහායෙන් සිනා නවත්වා, "එහෙනම් හෙල්ලෙන්නට එපා" ය යි කියා එක් අතෙකින් කිරි හාමි ගේ නාසය තද කැර ගත්තා ය. අනෙක් අතින් කට තද කැර ගත්තා ය. කිරි හාමි මඳ වේලාවක් ඉවසා ගෙන සිටියේ ය. හුස්‌ම ගන්නට වෑයම් කෙළේ ය. දැත් දෙ පය තුබුණු සේම තබා ගෙන ඇඹැරුණේ ය.
එහෙත් තරුණිය තදින් ම නාසයත් කටත් අල්ලා උන්නීය. අන්තිමේ දී කිරි හාමි තරුණිය ගේ අත් දෙක ගසා දමා, අහල තුබුණු දේ ඇදෙන තරම් වේගයෙන් හුස්‌මක් ඇද "පණ ආවා" යයි කියා සිටියේ ය. තරුණිය සිනා සෙන්නට වූවා ය.
"හිනා!" තවත් අල්ලා ගෙන සිටියා නම් ආපනත් යනවා මයි. "හොඳයි, කමෙක් නෑ මේ කළ උපකාරයට මට කුමක් ද කරන්නට කියන්නේ?" ය යි කිරි හාමි කී ය. "යමු අපේ ගෙදරට" ය යි තරුණිය කීවා ය. කිරි හාමි කීකරු විය.
තරුණිය ගේ මව් පියෝ කිරි හාමි දැක "මේ කවුද" යි ඇසූ හ.
"මේ මා එක්‌ක ආව" ය යි දුව කීවා ය. "හා, එහෙනම් දුව ඒ ළමයාට කැමැති ද?" තරුණිය එක් වරම "ඔව්" ය කීවා ය. මව් පියෝ නෑදෑයනට ද කියා, මඟුල් කා දුව කිරි හාමිට පාවා දුන්නෝ ය. එ තැන් පටන් කිරි හාමි තමා ගේ බිරින් දෑ ගේ අණට කීකරු ව සැප සේ කල් ගත කෙරෙයි.
