පස්‌ වන මරණය
 

දිනක්‌ ඒ සොරු මුළ කිරි හාමි ද සමඟ ගොස්‌ ගෙයක්‌ බින්දෝ ය. ඒ ගෙදර පිරිමි කීප දෙනෙක්‌ වෙති. බොහෝ දරුණු ආයුධ ද ඇත. ඒ හෙයින් මින් පෙර කිසි කළෙක සොරු ඒ ගෙය බිඳින්නට තැත් නොකළ හ. කිරි හාමි ඇතුළට යවන අදහසින් මේ වර බින්ඳෝ ය.

සොරු කිරි හාමිට ද නො නැඟෙන ලෙස බිත්තියේ මහ සිඳුරක්‌ කොට, ඔහු ගෙට ඇතුළු කළ හ. "ඔස වන්නට බැරි පුළුවන් සියල්ල අපට ගෙනැවිත් දෙන්නැ" යි ද කී හ. පළමු කොට කිරි හාමි එසැවිය හැකි සියලු දේ ගෙන දුන්නේ ය. පසුව ගෙයි මුල්ලෙක මහ පෙට්‌ටියක්‌ තිබෙනු දැක එය ඔසවන්නට උත්සහ කළේ ය.

එය නම් තනි ව එසැවිය හැක්‌කෙක්‌ නොවේ. කිරිහාමි වට පිට බැලුවේ ය. පෙට්‌ටිය ළඟ ම එයට හිස ලා නිදා වුන් හැඩි දැඩි මිනිසෙකු දැක ඔහු ගේ උර හිස අල්ලා සෙලැ වී ය. "අනේ, නැගිටිනවා, නැගිටිනවා. නිදා ගන්නට බැරි යැ? මේ පෙට්‌ටිය තනිය ම ගෙන යන්නට බැහැ. නැගිට ලා පොඩ්ඩක්‌ උදව් වෙනවා, හොඳ මිනිහා වාගේ" මිනිහා විදුලිය මෙන් නැඟිට, "හොරු, හොරු" යි මහ හඬ නගා කිරි හාමි ගේ බෙල්ල අල්ලා බිම ඔබා ගත්තේ ය. පිටත සිටි සොරු ගත් ගත් බඩු ද ගෙන පැන දිවුවෝ ය. ගෙදර සෙසු මිනිස්‌සු අවුත් පහන් දල්වා කිරි හාමි වටා ගත්තෝ ය.

කිරි හාමි ගේ බෙල්ල වැලඳ ගෙන සිටියේ එසේ මෙසේ ඇඟිලි නොවේ. එ හෙයින් හුස්‌ම ගැනීම ද අමාරු විය. ඒ පිටට පහර හත අටක්‌ දී හිස පිට ආදී තැන්වල සවිය බැලී ය. හිස්‌මක්‌ ලැබුණු වහා ම, "අනේ මා මරන්නට එපා" ය යි කිරි හාමි කෙඳිරි ගෑවේ ය. "මරන්නට එපා, එපා නම් මරුවා ළඟට ආවේ?" මෙසේ කියමින් දැඩි මිනිහා කිරි හාමි ගේ බෙල්ල අතහැර ඉල පිටට හොද පහරක්‌ හෙළී ය. කිරි හාමි ද බඹයක්‌ පමණ ඈත තිබුණු ඇඳෙක හැපී, අටුයෙන් හෙළු$ වී මල්ලක්‌ මෙන් බිම හොත්තේ ය.

"අනේ, මා මරන්නට එපා. මා හොර කමට ආව නොවෙයි. හොරුන් මා ගෙට ඇතුළු කළා. බඩු ගෙන දෙන්නට කීවා. අර පෙට්‌ටිය තනිවම ගෙන යන්නට බැරි නිසයි මා ඔබට කතා කෙළේ. හොර කමට ආවා නම් කතා කරනවා යැ? මා හිතුවා, හොරුන් මේ ගෙදර අයත් සමඟ කලින් දොඩා ගෙන බඩු ගෙන යනවා ය කියා." කිරි හාමි මෙසේ කියත් ම සියල්ලෝ කොක්‌ හඬලන්නට වූ හ. වෙන හිරිහැරයක්‌ නොකළ හෙයින්, කිරි හාමි කෙළින් වී බිම ඉඳ ගෙන තමා ගේ සියලු තොරතුරු කීයෝ ය. ගෙදර මිනිස්‌සු ඔහු ගේ සැටි තේරුම් ගෙන, ඔහු එහි ම නවතා ගත් හ.

කිරි හාමි නෑමට කැමැති ය. එහෙත් එක විට හිසත් පයත් කිසි කලෙකත් නොතෙමෙයි. හිසෙහි සිට නාන්නට නම් දෙ පය ගලක්‌ උඩ තබා බිම හිඳ ගනී. දෙ පය තෙමා නාන විට හිසෙහි දිය බිඳක්‌ වත් නො @Hළයි. දිනක්‌ දෙ පය උඩ තබාගෙන නාන මොහු දුටු යාළුවෙක්‌, "මේ කුමන විහිළු වෙක්‌ දැ" යි කියමින් දෙපය අල්ලා දියෙහි එබී ය. එදා කිරි හාමිට දියෙන් ගිනි නැඟුණේ ය. හේ වහා හිස අත ගෑ ය, පය අත ගෑ ය. දෙ පළ ම එක සැටි සීතලය. "මා මළා, මා මළා" ය යි කියමින් හේ එ තැනම හොත්තේ ය.

යාළුවා පළමු කොට මෙය විහිළුවකට ගත්තේ ය. එහෙත් කිරි හාමි ගේ දෙ පය එක්‌වුණු සැටි බලා මහත් භයට පැමිණියේ ය. "අනේ, මා කළ මෝඩ කම ඉතින් මෙයින් ගැලැවෙන්නේ කෙසේ ද? මෙ තැනට මා ආ බව දෙතුන් දෙනෙකු දුටුවා. ඒ නිසා මෙ තැනින් දිවුවත් පලෙක්‌ නෑ."

මෙසේ සිතමින් ඉන්නා ඔහුට කදිම උපායක්‌ සිතුණේ ය. හේ කිරි හාමි අමාරුයෙන් ඔසවා ගෙන කැලෑව මැදින් වහ වහා යන්නට විය. බොහෝ දුර ගොස්‌ පඳුරක්‌ අස්‌සේ කිරි හාමි හොවා මඳක්‌ හති හැර, පසු නො බලා ගෙදර දිවුවේ ය.

(c) Shilpa Sayura Foundation 2006-2017