එදා ගොවියා ලෙඩ විය. ගොවි ගෙදර අය වෙද ගෙදර යෑමෙහි ද, සාත්තු කිරීමෙහි ද යෙදුණාහු ය. කිරි හාමි ගැන මතක් කරන්නට වත් එකෙක් නො සිටියේ ය. එ හෙයින් කිරි හාමි එදා රෑ කැලෑව මැද ය.
සොර මුළෙක් මහ ගෙයක් බිඳ මුදල් ද වටිනා බඩු ද ගෙන කිරි හාමි හොත් තැනින් යෙති. අඳුරේ යන එක් සොරෙකු ගේ පයට කිරි හාමි ගේ බෙල්ල ම අසු වී ය. මඳ වේලාවක් හුස්‌ම ද නැති වැ සිට, දොඩන්නට පුළුවන් වූ වහා ම කිරි හාමි පුරුදු බැණීම පටන් ගත්තේ ය.
"කො තැන ගැලැවී ඉන්නට ද? පණ තුබුණත් ගැලැවිල්ලෙක් නෑ. නපුරු ම මිනිසුනුත් යන්නේ මළ මිනියට ඈතින්. මුන් යන්නේ මිනිය පාගා ගෙන. යක්‌කු, යක්‌කු, මිනිස්‌සු යැ?"
සොරු එක්‌වරම දුවන්නට ඉඟිළුණෝ ය. සොර දෙටුවා ඔවුන් නවතා කන් දී සිටියේ ය. තවත් දෙඩීමක් නො ඇසුණු බැවින් සොරු "දෙඩුවේ කවරෙක් දැ" යි බිලීමට ළං වූවෝ ය. එක් සොරෙක් කිරි හාමි දැක, මුහුණට එබුණේ ය. "ඇයි ආයෙත් පාගාගෙන යන්නට දැ" යි කිරි හාමි ඇසීය.
"නෑ යාළුවා, මේ කවුද කියා බලන්නටය" යි සොරා කීයේ ය. එවිට සොරු සියල්ලෝ ම කිරි හාමි වටකැර ගත්තෝ ය. "මන්ද, මේ කැලෑව මැද නිඳා ගන්නෙ?" යි සොර දෙටුවා ඇසී ය.
"නිදා ගන්නේ! කවුද නිඳා ගන්නේ? මළ කඳත් නිඳා ගන්නා මිනිහාත් අඳුනන්නට බැරි ද? හිසත් පයත් සීතල වී මා මළා. ගෙදර මිනිසුන් මා මේ කැලෑවට ඇඳ දැමුවා."
"හ හ හ හ හා! අනේ, මැරිලා කටේ විතරයි යන්තම් පණ තිබෙන්නේ."
"කටෙත් නෑ, මෝඩයා, පණ. මා හොදටම මළා. බෙල්ල පාගා ගෙන ගියාම මළ කඳක් උණත් කට පියාගෙන ඉදී යැ?"
සොරු සිනා සිර කැර ගත් හ."යමු, යාළුවාවිහිළු නැතිව" යි සොර දෙටුවා කී ය. "මළ මිනිහා යන්නේ කෙසේ ද? කරදර නොකැර අනේ යනවා යන්නට" යි කිරි හාමි කෙඳිරි ගෑවේ ය. " ගිය පණ ගන්නට මට පුළුවනැ" යි එක් සොරෙක් කී ය. "අනේ එහෙනම් ජීවත් වන්නට වාසනාව තිබෙනවා වාගෙයි. හොඳ යි, එහෙනම් පණ ගන්න. මට දෙන්නට දෙයක් නෑ. ගෙදර වැඩ පළ වත් කැර දෙන්නෙමි." යි කිරි හාමි දුක් මුසු හඬින් පැවසුවේ ය.
ඒ සොරා ගේ අතේ ඉතා සැර දුම් කුඩෙක් තිබුණේ ය. හේ එයින් විසි වරකට පමණ සෑහෙන දුම් කුඩු ගෙන කිරි හාමි ගේ නාසා පුට දෙක පුරවා තදින් පිම්බේ ය. කිරි හාමිට සියලු දෙව් ලොව පෙනී ගියේ ය. ඇසින් කඳුළු නික්‌මුණේ ය. හේ සොරා ද පෙරළා ගෙන නැගිට "පණ ආවා" යි හඬ නැගීය. එක් සොරෙක් වහා ඔහුගේ කට තද කැර අල්ලා ගත්තේ ය. කිරි හාමි තදින් ඒ මේ අතට ඇඹැරුණ නමුත් සොරා අත බුරුල් නොකෙළේ ය. අන්තිමේ දී කිරි හාමි ඇඟින් ඩා දිය වගුරවමින් බිම වැටුණේ ය.
"කෙසේ ද, යාළුවා? පණ ආවා දැ" යි සොරා ඇසීය. "පණ ආවා. වෙන දා වාගේ නොවෙයි. අද නම් පණ ආවේ බොහොම අමාරුයන්. කමෙක් නෑ. අමාරුයෙන් ආවත් පණ නො වෙයැ? හා, යමු යන්නට අද පටන් මැරෙන තුරු මගෙන් ඕනෑ වැඩක් ගන්නවා." මෙසේ කියා නැගිට කිරි හාමි පිටත් විය.
සොරු කිරි හාමි ද සමඟ සැක නැති තැනැකට ගොස් බඩු ද මුදල් ද බෙදා ගත්තෝ ය. කිරි හාමිට ද සුළු කොටසක් දුන් හ. එහෙත් කිරි හාමි කිසිවක් නොගත්තේ ය. "මට බඩුත් එපා, මට මුදලුත් එපා. මගෙන් පුළුවන් වැඩක් ගන්න. මට කරන උපකාරය නම්, මා මළ දා මට කරදර නො කැර, මා සමඟ වාද නො කැර, සොහොනට ඇද දැමීම පමණ යි." සොරු එසේ කරන ලෙස ගිවිසියෝ ය.
