හතර වන මරණය
 

ගොවියා පැලට යන කළ කිරි හාමි ද යයි. මීට ගොවියාගේ නො කැමැත්තෙක්‌ නැත. කිරි හාමි ඉන්නා තැන සිනාවෙන් නම් අඩුවක්‌ නැති හෙයිනි.

දිනක්‌ එළි වන යාමයේ දී ගොවියාගේ කුඹුරට හරක්‌ පැන්නෝ ය. කිරි හාමි දිග රිටක්‌ ගෙන උන් එළවා ගියේ ය. පහරක්‌ දෙන්නට පළමු හරක්‌ කඩුල්ලෙන් ම පැන ගියෝ ය. රිටි පහරක්‌ දෙන්නට බැරිවීම කිරි හාමි ගේ හිතට පහරෙකි. එ හෙයින් හේ කඩුල්ල උඩ හිඳ රෙද්දෙන් අමුඩය ගසා ගත්තේ ය. රිට ද ගෙන හරකුන් පස්‌සේ යන්නට නැගුණේ ය.

කොපමණ උත්සහ කළත් කිරි හාමිට අඩියක්‌ වත් ඉදිරියට යා නොහැකි ය. තමාට යන්නට නොදී යම් කිසිවකු තමා අල්ලා සිටින බව කිරි හාමිට දැනුණේ ය. අසල කුඹුරේ ගොවියා ගේ පුතා සඳුන් හාමි, කිරි හාමි ගේ යාළුවෙකි. ඔහු කවට කමට තමා ගේ අමුඩය අල්ලා ගන්නට ඇතැයි කිරි හාමිට සිතුණේ ය. "අනේ සඳුනා, ඉතින් හරිනවා, අර හරකුනට එකක්‌ දීලා එන්නට" එසෙ ද කිරි හාමිට යනු නොහැකි ය. "මේ වැඩි කවට කම් හොඳ නෑ. කවට කමටත් වෙලාවක්‌ ඇති නොවෙ යැ? හරිනවා, හරිනවා." කෙසේ කීවත් කිරි හාමි ගේ අමුඩය හරින සැටියෙක්‌ නැත.

"ඉතින් යාළුකම නැති වන්නට යි. අත හරිනවා ද නැද් ද?" මෙසේ කියා රිට ද උස්‌සා කිරි හාමි ඇඹැරී බැලුවේ ය. " මෙ කුමන කෝලමක්‌ ද? මට යන්නට දෙන්නේ නැද්ද?" ගොවියා මේ හඩ අසා දිව ආවේ ය. "කුමක්‌ වුනාද, කිරි හාමි, කුමක්‌ වුණා ද ?"
"අනේ, මේ බලන්න, මා අල්ලාගෙන ඉන්නවා."
"කවුද, කවුද?"
මා දන්නේ නෑ, බලන්න.

ගොවියා කඩුල්ලට ළං වී බැලී ය. ඔහුට කාරණාව වැට හී, බඩ අල්ලා ගෙන සිනා නො සී සිටිය නොහැකි විය. "මා අල්ලා ගෙන ඉන්ද දී ඔබට හිනා" යි කිරි හාමි නො සතුටින් කීයේ ය. "හා හා, කිරි හාමි තරහ වන්නට එපා. මූ ඉන්නා හැටියට යි, මට හිනා ආවේ, මූට දෙන්නම් එකක්‌" ගොවියා මෙසේ කියා, කඩුල්ලට පහරක්‌ ගසා, කඩුල්ල සොලවා, කඩුලු ලීය ද අසු කොට කිරි හාමි ගසාගත් අමුඩය ගැලවූයේ ය. එයින් කිරි හාමිට නිදහස ලැබුණේ ය.

කඩුල්ල සෙලැවීමේ දී පිණි රාශියක්‌ කිරි හාමි ගේ ඇඟ පුරා වැටුණේ ය. මහත් සීතලයෙක්‌ දැනිණ. එ විට ම කිරි හාමිට සඟ නම කී මැරෙන දවස සිහි විය. සැණෙකින් ඔහුගේ අත හිසට ගියේ ය. එ තැන සීතල ය. ඉක්‌බිති අත පයට ගියේ ය. එතැන ද එ මෙන් ම සීතල ය. "මා මළ, මා මළා," යි අහස දෙදරවමින් කිරි හාමි බිම වැටුණේ ය. අත අතට එකතු විය. පය පයට එකතු විය. ඇස්‌ පියැවිණ. කට තද විය.

කිරි හාමි ගේ පරණ තොරතුරු දන්නා ගොවියා සිදු වූයේ කිමෙක්‌ දැ යි හොඳින් දනී. එහෙත් හේ කිරි හාමිට "ඉගෙන ගන්නට හරිමි" යි සිතා ඕ අසල කැලෑවට ඇඳ දැම්මේ ය. "පණ ආවොත් කිරි හාමි ගෙදර දුර යැ?" යි කියමින් ගොවියා කුඹුරට ම ගියේ ය.

(c) Shilpa Sayura Foundation 2006-2017