හතර වන පණ
 

එදා කිරි හාමි ගේ ඇඟ කොළ අතු වලින් වසන ලදී. මරණය ගැන කිසි සැකයක්‌ නැති කිරි හාමි එයින් වූ හිරිහැරය ද නො සලකා, මළ බවට වරදක්‌ නොවන ලෙසට ම හොත්තේ ය.

ඉනි කපන්නට කැලෑවට ගිය ගොවියෙක්‌ ඒ අසලට පැමීණියේ ය. හේ කැපූ ඉනි දහ පහළොවක්‌ ඔසවා ගෙන හොස්‌ කොළ අතු උඩ දැමී ය. මළ කිරි හාමි ට මේ නම් ඉවැසිය නොහැක්‌කෙකි. එ හෙයින් හේ ඉනි දෙපසට දමා ගෙන නැගිට සිටියේ ය. ගොවියා මහත් භයට පැමිණ බඹ ගනනක්‌ දිව ගොස්‌ පස්‌ස බැලී ය. කිරි හාමි සිටි තැනම සිට බණින්නට වන්නේ ය.

"හැබෑවට ම මේ මළ කඳකට කරන සැලැකිල්ල ද? මෙ පමණ තැන් තිබිය දී ඉනි මළ කඳන් උඩ දමන්නට ඕනෑ ද? මෙහෙම පව් කාරයන් ඉන්නා රටේ ඉන්නනවාට වඩා මැරෙනවා ම යි හොඳ" කිරි හාමි මෙසේ කියා ගොවියා දෙස රවා බැලුවේ ය.

ගොවියා බිය සුල්ලෙක්‌ නොවේ. එහෙත් මේ නම් ඔහු කිසි කලෙක නුදුටු අවතාරයෙකි. එ හෙයින් මඳක්‌ කලබල විය. මොහොතෙකින් ඒ කලබල ගතිය නැති කොට, අඩි කීපයක්‌ ඉදිරියට තබා, "කෝ මළ කඳ?" යි ඇසී ය. "කෝ මළ කඳ?" යි කිරි හාමි කෝපයෙන් දෙ වරක්‌ ඇඳ කියා, "මේ මළ කඳ" යි තමා ම දැක්‌ වී ය.

"යස මළ කඳ! සිටින දොඩන මළ කඳ ! ඇත්තෙන් ම මේ මැරිලා ද ?"
"ඇත්තෙන් ම මැරිලා. මා මැරුණු බව මට වඩා හොඳින් දැනෙන්නේ කාටද?"
ගොවියා මදින් මද ළං වූයේ ය. මොළොකින් දොඩා කිරි හාමි ගේ කථාව සම්පූර්ණයෙන් අසා ගත්තේ ය. කොක්‌ හඬලා සිනා සී මෙසේ ද කීය.
"ඔව් මැරිලා ම යි. මළ අයට පණ දෙන ගුරු කමක්‌ මා දන්නවා. කැමතිනම් කරන්නට පුළුවනි."

"අනේ, පින් කඳේ, පුළුවන් දෙයක්‌ කැරලා මට පණ දෙන්න. මා අතේ මිල මුදලෙක්‌ නෑ. කියන දෙයක්‌ කැර දෙන්නම්."
"හා හොඳා, ඒක බැරි යැ!" මෙසේ කියා ගොවියා කිරි හාමි ගේ අත ගෙන ගියේ ය.

ගොවියා කිරි හාමි කඩි ගුලක්‌ ළඟට ගෙන ගොස්‌ කඩි ගුලට පිට පා එය ඇවිස්‌සී ය. කඩින් කිපුණු පසු මෙසේ කී ය, "ගිය පණ ඇදීම ලෙහෙසි නොවේ. ටිකක්‌ ඉවසා ගන්නට ඕනෑ." ඉක්‌බිති කිරි හාමි ට කඩි ගුල මත හිඳ ගන්නට නියම කෙළේ ය. කිරි හාමි ද පණට ආශාව නිසා මහත් භක්‌තියෙන් හිඳ ගත්තේ ය.

හුස්‌මෙක දී කඩි කිරි හාමි ගේ ඇඟ පුරා දුවමින් දෂ්ට කරන්නට වූහ. ඒ වෙලාවේ දී කිරි හාමි ගේ මූණ බලන්නට ම හොඳ ය. වරක්‌ කට එක්‌ අතකට යයි. වරක්‌ අනෙක්‌ අඅතට යයි. වරක්‌ උල් වෙයි. වරක්‌ ඇරෙයි. වරක්‌ කන් දෙක දක්‌වා පළල් වෙයි. නාසය ඇකිළෙයි. නළල රැළි වැටෙයි. කටට තදින් සුළං ඇදෙයි. කුමක්‌ කළත් අන්තිමේ දී ඉවැසිලි නැති ව, "පණ ආවා, පණ ආවා" යි මුළු රටට ඇසෙන සේ කියා, කිරි හාමි උඩ පැන්නේය. හිස දෙපැත්තට ගස්‌සන්නටත්, ඇඟ අඹරවන්නටත්, දැතින් ම පස්‌ස කසන්නටත් පටන් ගත්තේ ය.

ඉවසාගෙන ඉන්නට පුළුවන් වූ පසු කිරි හාමි මීට පළමු මෙන් ම පින් දීම කොට ගොවියා සමඟ ගියේය. ගොවි ගෙදර දී ලැබුණු සැලැකිල්ලෙන් මළ සැටිත් පණ ආ සැටිත් නො මතක වී ය.

(c) Shilpa Sayura Foundation 2006-2017