එඬේරා ගේ අට මස් දරුවෙක් වූයේ ය. බොහෝ විට මේ දරුවා බලා ගන්නේ කිරි හාමි ය. මේ නිසා ඔහුට එඬේර බිරින්දෑ ගෙන් ලැබුණු සැලැකිලි ඉතා මහත් ය. දිනක් එඬේර බිරින්දෑ දරුවා නෑවූ දැ ය.
නාවා ඉවර වූ පසු ද දිය කොරහේ කෙළින්නට දරුවා ඉතා කැමැති ය. එ හෙයින් කිරි හාමිට දරුවා ගන්නට කියා, එඬේර බිරින්දෑ තමා ගේ කටයුත්තකට ගිය දෑ ය. කිරි හාමි කීප වරක් ම දරුවා ගන්නට තැත් කෙළේ ය. එහෙත් දරුවා ඊට ඉඩ නොදෙයි. ඒ බව කී කල "එහෙනම් කොරහේ දිය හලන්නැ" යි කියා එඬේර බිරින්දෑ දියට ගිය දෑ ය.
කිරි හාමි දරුවා ඉන් ද දීම කොරහ ඔසවා ගෙන ගෙයි පිටිපසට ගියේ ය. ගෙදර කෙල්ල එ දැක "කුමක් ද මේ කරන්නට යන්නේ?" යි ඇසුවා ය.
"මේ කොරහේ දිය හලන්නට යනවා."
"දරුවාත් එක්‌ක ද?"
"නිකම් ඉන්නවා, පණ්‌ඩිත කම් නොදොඩා" මෙසේ කියා කිරි හාමි සිට ගෙන ම කාරහ නැමී ය. දරුවා පෙරැළී බිම වැටී මහ හඩින් හඩන්නට විය. කෙල්ල දිව ඇවිත් දරුවා වඩා ගෙන, කිරි හාමිට බැණ බැණ ගියා ය.
"කුමක් වුණා ද, මගේ පුතා අඩන්නේ" යි දිය කළයත් ගෙන එමින් සිටි මව ඇසුවාය. කෙල්ල කිරි හාමි කළ හපන් කම කීවා ය. කොනකට වී බිම ඉරි අදිමින් සිටි කිරි හාමි තමා ගේ ඇත් වරදක් නැති බව කියන්නට වූයේ ය.
"මට කොරහේ දිය හලන්නට කීවා නො වැ?"
"ඔව් ඉතින් ළමයා හලන්නට කීවා නොවේ යැ?"
"නෑ මා ළමයා හැලුවේ නෑ, දිය පමණයි, මා හැලුවේ. ඉතින් ළමයා ගේ පොඩි කමට කළ දේ බලන්න."
"කුමක් කළ `ද?"
"කොරහෙන් වැටුණා"
මව ගේ කෝපය හොදට ම ඇවිස්‌සුණේ ය. දරුවා ද මව ගේ මුහුණ බල බලා තව මත් හඬයි.
මව ගේ හිණෙයි වූ දිය කළය සැණෙකින් කිරි හාමි ගේ හිසට පැන, සියක් කැබැලිව බිම වැටුණේ ය. කළයේ දියෙන් කිරි හාමි සම්පූර්ණයෙන් නෑවුණේ ය. මව දරුවා වඩා ගෙන සිඹ සනසා, ඇඟ පිසිමින් ගියාය.
බුලත් විටක් කන වේලා යන විට කිරි හාමිට සීතලෙක් දැනුණේ ය. සඟ නම කී මැරෙන දවස ඔහුට වහා මතක් විය. හිස ද පය ද හේ අත ගා බැලී ය. දෙපළ ම එක සැටි සීතල ය. "මා මළා, මා මළා," යන මර හඬ ඇසී ගෙදර සිටි අය වහා දිව ආවෝය. ඔවුනට පෙණුනේ, ඇස් පියා, දැත් බඩ මතට දී, දෙපා එක් කොට ගෙන, උඩ බලා බිම හොත් කිරි හාමි ය.
එඬේරා එදා ගෙදර නැත. කිරි හාමි ගේ තොරතුරු දන්නා නමුත්, පහර නිසා එඬේර බිරිදට භයෙක් උපන්නේ ය. එ හෙයින් අසල ගෙදර සිටි ගෑනුන් දෙන්නා ද කැඳවා ගෙන ඉතා අමාරුයෙන් කිරි හාමි ඔසවා ගෙන ගොස් කැලෑවේ දමා ආ දෑ ය.
