තුන් වන පණ
 

එඬේරයෙක්‌ හරක්‌ රළ දක්‌කා ගෙන කැලෑව මැදින් යන්නට ආයේ ය. ඒ රැළෙහි මහ මී හොනිනු ද අං දිග මී දෙන්නු ද වූහ. පැටවු මවුන් සමඟ දිව ආහ.
මළ කිරි හාමි හරක්‌ රළ දැක්‌කේ ය. හරකුන් ගේ කුරෙහි මහත ද අඟෙහි දිග ද ඔහුට හොථ හැටි පෙනුණේ ය. හරක්‌ රළ ළං වන විට කිරි හාමිට තමා මළ බව නො මතක වී ය. වහා නැගිට දිව ගොස්‌හේ එඬේරාට බැණ වදින්නට විය. "පව්කාරයා, හරකුන් දක්‌කන්නේ මළවුන් ගේ ඇඟ උඩින් ද? මෙහෙ ම පව් කාළ ම යන්නේ කොයි ලෝකේ ද?"
එඬේරා පුදුම විය.


"මේ කාගේ ඇඟ උඩින් ද මා හරකුන් දැක්‌කුවේ?"
"මගේ ඇඟ උඩින්,"
එඬේරාට මහා සිනාවෙක්‌ පහළ විය. "හා, හා, මේ කතා කරන්නේ මැරිලා"
"ඔව් හිසත් පයත් එක සැටි සීතල වුණු දා මැරෙන බව දිවැස්‌ ඇති අපේ හාමුදුරුවන් කීවා. අද වැස්‌සට තෙමී මගේ හිසත් පයත් එක සැටි සීතල වුණා මා මළා"
එඬේරාට මේ මරණය හොදින් වැටහුණේ ය.

"ඉතින් ඒ ගිය පණ ගෙන්නුමට ගුරු කමක්‌ කළේ නැද්ද?"
"අනේ නෑ"
"පණ ගෙන්නා ගන්නට ද කැමැත්ත?"
"අනේ, ඔව්. අනේ, ඔව්. ඔබ ගුරු කමක්‌ දන්නවා නම් කරන්න. පණ තිබෙන තාක්‌ මා ඔබට මෙහෙ කරනවා"
"හා, ඒ ගරු කම අමාරු එකක්‌ නො වෙයි. මගේ හරකුනුත් එහෙම ඉඳ හිටලා මැරෙනවා. එ විට මා උන් ගේ පණ ගෙන්වන්නේ මෙයින් මෙසේ කියා එඬරා තමා අතෙහ් තුබූ කෙවිට පෑයේ ය."

කිරි හාමි ගුරුකම කරවා ගන්නට කැමති වීය. එඬේරා කිරි හාමි මුණින් බිම හොවා, කෙවිට ඔසවා, මෙසේ කීයේය, "හැබැයි පණ එන විට ටිකක්‌ රිදෙයි. ඊට බයක්‌ ගන්නට එපා. හොඳට ම පණ ආවා ම මට කියන්න ඕනෑ." මෙසේ කියා එඬේරා හැකි තරම් වැරින් පහර හත අටක්‌ දුන්නේ ය. කිරි හාමි මුලදී ඇඟ අඹරවමින් වේදනාව ඉවසා ගත්තේ ය. කෙළවර ඉවැසිලි නැතිව, "පණ ආවා, පණ ආවා" යි මහ හඩ නඟමින් නැඟිට දුවන්නට වී ය.

"ඒක තමා මා කීවේ" යි එඬේරා ගසක්‌ මුල හිඳ ගෙන හති අරින්නට වූයේ ය. වේදනාව මඳක්‌ අඩු වූ පසු කිරි හාමි එඬේරා ළඟට අවුත් වැඳ වැටී "අනේ, ඔබට පින් සිදු වේවා, යන්තම් ඒ වාරෙත් ගිය පණ ආවා. පණ ඇති තාක්‌ මෙහෙ කරන්නට එන්නෙමි," යි කීය. "හා, ඒක කෙසේ කරන්නට බැරි දැ" යි කියා, එඬේරා කිරි හාමි ගේ සිත සැනසුවේ ය. හේ අන්තිමයේ දී, "ඉතින් යමු ගෙදර" කියා කිරි හාමි ද කැඳවා ගෙන ගියේ ය.

එඬේර බිරින්දෑ කිරි හාමි දැක ඔහු ගේ පිට පුරා සිටි ලේ දැක, හිසේ අත් තබා ගෙන, "අනේ මේ කුමක්‌ වුණා ද? මේ කවුදැ" යි ඇසූ දැ ය. "හා, හා, බයක්‌ ගන්නට එපා මේ ළමයා කැලෑව මැද්දේ මැරී උන්නා. මා ඉතින් ගුරු කමක්‌ කැර ලා බොහොම අමාරුවෙන් යන්තම් ගිය පණ ගෙන්නුවා. ඒ ගුරු කමට මෙහෙම වෙනවා. ඉතින් මේ ටික වෙලැවත් ගිය පණ ආවා නරකද?" එඬේරා මෙසේ කී කළ බිරින්ද නොයෙක්‌ ප්‍රශ්න අසන්නට වූ දෑ ය. " මැරුණේ කෙසේ ද? කල ගුරු කම කිමෙක්‌ද?" යන මේ ආදි ප්‍රශ්න වලට උත්තර දෙමින් කිරි හාමි තමා ගේ සම්පූර්ණ ජීවිත කථාව කීයේ ය.

කථාව ඇසූ එඬේර බිරින්දෑ ට හිනායෙන් නම් ඉඩෙක්‌ නැත. එහෙත් උන්දෑ ගෙයින් තෙල් ගෙන අවුත් කිරි හාමි ගේ පිටේ ගා, ඔහුට කන බොන දෑ දුන් දෑ ය. කිරි හාමි ඒ ගැන නො කැමැක්‌තක්‌ නො දක්‌වා, ගෙයි පිළ උඩට වී හොඳටම නිඳා ගත්තේ ය.

(c) Shilpa Sayura Foundation 2006-2017