සොර මුළ දිනක් කිරි හාමිත් ගෙන ගෙයක් බිඳින්නට ගියෝ ය. සොරු ගෙයි සන්ධි බලා බිඳිති. කිරි හාමි ඔවුනට බැණ වදී. "තොප වාගේ නපුරු අය තවත් ලෝකේ ඇද්ද? අනේ කො තරම් වියදම් කොට කො තරම් අමාරුයෙන් තනාපු ගෙයක් ද? බිඳිනවා නම් ගෙදර මිනිසුන් ගෙන් අසා බින්ඳා ම නරක ද?"
කිරි හාමි නවතා ගත නො හී සොරෙක් අතෙහි වූ යකඩ උල ඔසවා, " කට වසා ගෙන නො සිටියොත් මෙයින් ඇණ මෙතැනම මරමි" යි තරවටු කළේ ය. "තොපට හොඳ නම් බිඳී මේ පව් කොට මට නරකාදි යන්නට බෑ" යි කිරි හාමි ගෙදර කුස්‌සියට වැඳුණේ ය.
කිරි හාමි ට එදා බොහෝ ම බඩ ගිනි වීය. එ හෙයින් දුම අත ගා බැලීය. එහි මුං ඇට ටිකක් තිබී ඔහුට අසුවී ය. හේ එය ගෙන ඇතිළියක ලා ලිප තබා පිම්බේ ය. එයින් අළු යටව තිබූ ගිණි අඟුරු මතුවිය. ලිප වටා තිබුණු සිහින් දර කැබලි හා කොලපු කැබැල්ලක් ද එක් කොට නැවතත් පිම්බේය. එයින් ගිණි ඇවිළුණේ ය.
කිරි හාමි මුං ඇට ටික බඳින්නට වන්නේ ය.
ලිප ළඟ ම ඉතා නාකි ගෑණියක් උඩට කට ඇර ගෙන නිදයි. කිරි හාමි බැදෙන මුං ඇට ටිකක් පොල් කටු හැන්දෙන් ගෙන, "අනේ, ආතේ, මේ මුං ඇට බැදුණා ඇද්දැ යි බලන්නැ " යි කියමින් ඒ ගෑනිය ගේ ලොඹු කටේ ලීය. අසරණ මැහැල්ල මර හඬ දෙමින් නැගිට දිවුවා ය. ගෙදර මිනිස්‌සු පිබිඳ අවුත් කිරි හාමි අල්ලා ගසෙක බැඳ අතින් පයින් පහර දෙන්නට වන් හ.
"අනේ මා මරන්මනට එපා. එක වරක් මා මැරී ආයෙත් යන්තම් පණ ගත්තේ ය." යි කිරි හාමි කන්නලව් කරන්නට වීය. "තා මෙහි සොර කමට ආවා දැ" යි මිනිස්‌සු ඔහුට තමන් ගේ අත පයේ සවිය ම දක්‌වති." මා හොරකමට ආවේ නෑ. සොරුන් සමඟ තමා ආවේ. උන් ගෙය බිඳන කල මා උනට කීවා ගේ බිඳින්නට එපා" කියා "බිඳිතත් ගෙදර මිනිසුන්ගෙන් අසා බිඳින්නට කීවා.
උන් ඇහුවේ නෑ. ඉතින් මා කුස්‌සියට ගොස් බඩ ගින්නට මූං ඇට ටිකක් බැඳ, බැඳුණා ඇත් දැ යි බලන්නට මේ ආතා ගේ කටේ ටිකක් දැමුවා. ආතාට මුං ඇට සියල්ල නුදුන්නාට දෝ, මර හඬ ලෑවා" යි කිරි හාමි සියලු තොරතුරු කීයේ ය. ගෙදර මිනිස්‌සු ඔහුගේ කථාව අසා, සිනා සී, ඔහු ගෙදර ම නවතා ගත්තෝ ය. හේ ද ගෙදර ඉතා කීකරු ව වැඩ පළ කළේ ය.
දිනක් පනම් අටක් දී වළන ගෙනෙන්නට කිරි හාමි යවන ලදී. කිරි හාමි කඩයට ගොස් වළන් ඉල්වී ය. කඩ කාරයා වළන් ගොඩක් පෙන්වා, "එකක් තුට්‌ටු දහය ය" යි කීයේ ය. කිරි හාමි කිපුණේ ය. " මා නුපුරුදු නිසා රවටන්නට සිතුවා ද? මේ වළඳ තුටීටු දහයක්! හැබෑවට ම මෙය තුට්‌ටු දහයක් දී ගන්නා අයත් ඇදිද? කැමති නම් මෙය පනම් අටකට දෙනවා මා ළඟ ඇත්තෙත් එපමණයි." කිරි හාමි මෙසේ කී කළ, "එහෙනම් ඇර ගෙන යනවා. ඉතින් එ පමණ කියන කල නොදී පුළුවන් දැ" යි කියා කඩ කාරයා පණම් අට ගෙන වළඳ දුන්නේ ය.
කිරි හාමි, ව:ඳත් ගෙන ගෙදර එන අතර මහ වැස්‌සක් ආයේ ය. එයින් හේ හොඳට ම තෙමුණේ ය. ඇඟ සීතල විය. ගේ මිදුලට එන විට මැරෙන දවස මතක් වී, වහා හිසත් පයත් අත ගා බැලී ය. දෙ පළ ම එක සැටි සීතල ය. "මා මළා, මා මළා" යි හඩ නගමින් කිරි හාමි එ තැන ම පෙරැළුණේ ය. වළඳ කුඩු ව ගියේ ය. ගෙදර මිනිස්‌සු වහා දින ආහ.
"නැගිටින්න, කිරි හාමි, නැගිටින්න" යි මිනිස්‌සු කීවෝ ය. " අනේ මා මළා, හාමුදුරුවන් දිවැසින් බලා කීවේ හිසත් පයත් එක සැටි සීතල වුණු දා මා මැරෙණ බව. අනේ, ඉතින් මා කුණු වන්නට නෑර ගෙන ගොස් වළ ලන්න" යි කියමින් කිරි හාමි කෙඳිරි ගෑවේ ය. ඇස් පියා ගත්තේ ය. කට තද කැර ගත්තේ ය. දැත ද දෙපය ද එක් කෙළේය, මළාක් මෙන් ම හොත්තේ ය.
ගෙදර මිනිස්‌සු බියට පැමිණියෝ ය. " මේ මරණයට අප අසු වුණොත් ගැලැවෙන්නේ කෙසේ දැ" යි ඔහු සිතු හ. "මේ බව එළි වන්නට කලින් මොහු කැලෑවට ගෙන ගොස් දමමු" යි එකෙක් කී ය. සියල්ලෝ එයට කැමති වූහ. එ හෙයින් සතර දෙනෙක් කිරි හාමි ඔසවා ගෙන ගොස් කැලෑයෙ හි ලා ආවෝය.
