පස් වල අනෙකුත් ලක්ෂණ
 

ක්ෂාරීය හෝ ලවණ පස්

දියවන සුළු ලවණ අඩංගු පස් ලවණ හෝ ක්ෂාරීය පස් ලෙස හඳුන්වයි. පසක් ක්ෂාරීය වීමට හේතු කීපයක් බලපායි.
(1) මුහුදු වාෂ්ප ගොඩබිමට පතිත වීම.
(2) ගිනි කඳු වලින් පිටවන වායුවල ඇති ක්ලෝරයිඩ හා සල්පේට පසට එක්වීම.
(3) වාරිමාර්ග වල ජලයේ ඇති ලවණ පස මතු පිට තට්ටු වශයෙන් තැන්පත් වීම.
(4) උස්බිම් වල ඇති ලවණ සේදී අවුත් පහත් බිම්වල තැන්පත් වීම.
(5) ජල වහනය දුර්වල පස් ඇති වියළි කලාපයේ පස මතු පිටට පැමිණි ජලය වාෂ්පීකරණය වූ පසු ලවණ ඉතිරිවීම.

ලවණ පස
යම්කිසි පසක ලවණ ප්‍රමාණය මැනීමට විදුලි සන්නායකතාව උපයෝගී කර ගනු ලැබේ. විදුලි සන්නායකතාව සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී සෙන්ටිමීටරයට මිලිමෝස් හතරට වඩා ඇති ආම්ලිකතාව (පී. එච්. අගය 8.5) වඩා අඩු පස් ලවණ පස් වේ. එහි විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය 15% අඩු වේ.

ක්ෂාරීය පස්
ක්ෂාරීය පස් ලෙස හඳුන්වන්නේ සම්පූර්ණ විනිමය ධාරිතාවේ 15% ට වැඩි ප්‍රමාණයක් සෝඩියම් ධන අයන වලින් සන්තෘප්ත වන සේ සැකැසී ඇති පස් වලටය. විදුලි සංනායකතාව සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී මිලිමෝස් 4 ට අඩු වේ. ආම්ලිකතාව පී. එච්. 10 ට ආසන්නව පවතී.

ලවණ ක්ෂාරීය පස්
ලවණ ක්ෂාරීය පස් ලෙස හඳුන්වන්නේ විනිමය පද්ධතියේ සෝඩියම් අයන ප්‍රතිශතය 15% අමතරව තවත් ලවණ දිය වී ඇති පස්ය. විදුලි සංනායකතාව සෙන්ටිග්‍රේඩ් අංශක 25 දී සෙන්ටිමීටරයට මිලිමෝස් 4ට වඩා වැඩිවන අතර පී. එච්. අගය වෙනස් වන සුළුය.

පසක් ලවණ සහිත නම් එය වගාවට යොදා ගැනීමට පෙර ද්‍රාවණය වන ලවණ සෝදා හැරීමට ජලයෙන් යට කර ජලය බැස යන්නට සැලැස්වීම ප්‍රමාණවත් විය හැකිය.

එහෙත් ක්ෂාරීය පසක් නම් එය ජිප්සම්, කැල්සියම් සල්පේට් එකතු කළ යුතු අතර යට පත් තට්ටු ද ක්ෂාරීව තිබේ නම් යටට ද ජිප්සම් හෝ කැල්සියම් සල්පේට් යෙදිය යුතුය. ඉන්පසු දින 21 ක් පමණ භූමිය ජලයෙන් පුරවා ජලවහනය වීමට සැලැස්විය යුතුය. අක්කරයකට ටොන් 15 ක් පමණ කැල්සියම් සල්පේට් අවශ්‍ය වේ. පස හුණු සහිත නම් ගෙන්දගම් පසට යෙදීමෙන්ද සල්පියුරික් අම්ලය ඇතිවීමට සලස්වා ක්ෂාරීයතාවය ඉවත් කළ හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017