එදා රෑ පල් සොරු මුළක් ගෙයක් බිඳ, බඩු මිටි හිසින් ගෙන යෙති. සමහරු මුදල් පසුම්බි ආදිය එල්ලා ගෙන යෙත්. මෙසේ යන එකෙක් සොහොනෙහි හොත් කිරි හාමි පයින් මැඩ ගෙන ගියේ ය.
නිදා උන් කිරි හාමි පිබිඳ සොරුන් දැක,"අනේ මුන්ගේ නො හැදුණු කම මළ එකෙකුට වත් නිකම් ඉන්නට අරින්නේ නැ නො වෙයැ" කීයේ ය. සොරු ඒ අසා නැවැතී, "ඒ කවරෙක් දැ" යි බැලූහ. "එකෙක් උඹ කවුද?" යි ඇසී ය.
"ඒ මම කිරි හාමි. මා මළා. ඉතින් මළ එකා පාගාගෙන යෑම හරි ද?"
සොරුනට ද සිනා නො සී සිටීම අමාරු වී "මැරුණේ හැබෑවට ම ද බොරුවට දැ" යි අනෙකෙක් ඇසී.
"මෙන්න මූට පිස්‌සු. බොරුවටත් මැරීමෙක් ඇද්ද? බල, හාමුදුරුවන් කීවා, හිස3ත් පයත් එක සැටි සීතල වුණු දා මළා ය කියා. ඊයේ මා ගඟේ වැටී හිසත් පයත් එක සැටි සීතල වුණා. ඉතින් මා මළේ නැද්ද?"
"මේ මොන පිස්‌සෙක් ද? බිල්ලකට බොහොම අගෙයි. බොරු නැතිව එනවා යන්නට" යි සොර දෙටුවා කී ය.
"අනේ මා මළා, මා මළා, මළ එකාට ඉන්නට දී යනවා යන දිසාවෙක" යි කිරි හාමි හඩන්නට වූයේ ය. සොර මුලේ සිටි එකෙක් දෙන්නෙක් ද හොරට අඩන්නට වූහ.
අනේ ඉතින් කවදා දකින්නට දැ යි එකෙක් හැඩී ය. "අනේ, මාත් ඉදලා කුමට දැ " යි තවතෙක් ඇඩීය. කිරි හාමි කිපී, "තොපි යන අතෙක යවු, මළ එකාට කවට කම් කැර අපායට විතරක් යන්නට එපා" යි ගෙරෙව්වේ ය.
එක් සොරෙක් ඉදිරියට පැන "හා, හා, කවටකම් කරන්නට එපා, හොඳ යැ? මොහු ඇත්තෙන් ම මැරිලා. මා දන්නවා හොඳ මන්ත්‍රයක් ගිය පණ ගෙන්වන. කැමති නම් මතුරා බලන්නට පුළුවනි. හැබැයි පණ එනවා නම් දකුණු පයේ මහ පට ඇඟිල්ලේ වේදනාවෙක් දැනෙයි. මතුරා බලන්නට ද" යි කීයේ ය.කිරි හාමි ද මීට කැමති විය.
හොරා ද පිහියයෙකින් කිරි හාමි ගේ පයේ මහ පට ඇඟිල්ලට අනින ලෙස අනෙකකුට කියා, මතුරන්නට වීය. "ඕං වමො ගිය පණ වරෙන්, ගිය පණ වරෙන්, ගිය පණ වරෙන්, සවාහා" යි මතුරනු සමඟ ම කිරි හාමි ගේ දකුණු පයේ මහ පට ඇඟිල්ලේ මහත් වේදනාවෙක් වී ය. "පණ ආවා, පණ ආවා" යි මහ හඩ වගමින් හේ නැගිටියේ ය. ඉක්‌බිති පණ දුන් සොරා වැලථගෙන "අනේ, ඔබ නිසා ම මා ආයෙත් මේ ලෝකයට ආවා, ඔබට දිව සැපත් ලැබේ වා" යි කියමින් කදුළු වගුරුවමින් අඬන්නට වී ය.
"ඉතින් කොහි ද යන්නේ" යි සොර දෙටුවා ඇසී ය. "වෙන කොහි යන්නට ද? මා ගෙදර යනවා. ඔබට පින් සිදු වුණා වේ" යනු කිරි හාමි කී ය. "හා, හා, වරක් මැරී ඒ ගෙදරට ම යන්නට හොද නෑ. අප එක්‌ක යමු" යි පණ දුන් සොරා පැවැසී ය. "අනේ, කියන තැනකට එනවා, නරකාදි වුණත් එනවා, එනවා මයි. මගේ පණ ඔබේ නොවේ ද? " යි කියමින් කිරි හාමි යළිත් අඬන්නට වූයේ ය.
සොරු කිරි හාමි සනසා, ඔහු ගේ ඇඟේ වැලි පිස දමා, ඔහු එක් කැර ගෙන යන්නට වූහ. මග දී, කිරි හාමි, තමා ගේ සියලු තොරතුරු කියමින් සොරුන් සතුටු කෙළේය. "අමාරු වූ තැනෙක දී යස බිල්ලක්, අඟේ ඇති බිල්ලක්" යි කියමින් සොරු සිනාසුණෝ ය.
