පසක අන්තර්ගත වන කාබනික ද්‍රව්‍ය කොටස පරිමා අනුපාතය අනුව 5% ක් පමණ වේ. මෙම කාබනික ද්‍රව්‍ය කොටස් 2 කින් යුක්තය.
1. සත්ව හා ශාක කොටස් (වියෝජනය නොවූ සහ අර්ධව වියෝජනය වූ) එය හියුමස් නොවන කොටස ලෙසද හැඳින්වේ.
2. හියුමස් කොටස
වියෝජනය නොවූ ශාක හා සත්ව කොටස් තුළ කාබෝහයිඩ්රේට, ප්‍රෝටීන, මේද, ලිග්නින්, ටැනින් ආදිය අඩංගුව තිබිය හැකිය. කාබෝහයිඩ්රේට කොටස පිෂ්ඨය, සීනි, සෙලියුලෝස් හා හෙම් සෙලියුලෝස්වලින් පැවතිය හැකි අතර ක්ෂුද්‍ර ජීවීන්ට අවශ්‍ය ආහාර සහ ශක්තිය ලබාදීමේ ප්‍රභාවය ලෙස ක්‍රියා කරයි.
හියුමස් නම් වූ දෙවන කොටස ඇති වන්නේ හියුමස් නොවන කාබනික ද්‍රව්‍යය ක්ෂුද්‍ර ජීවී වියෝජනයෙන් පසුව තැනෙන ද්‍රව්‍යයන් එන්සයිමීය රසායනික ප්‍රතික්‍රියාවනට භාජනය වීමෙනි. හියුමස්වල හියුමික් අම්ලය හා පොලිසැකරයිඩ අන්තර්ගතය. හියුමික් අම්ලය කාබන්, හයිඩ්රජන්, ඔක්සිජන්, නයිට්රජන්, පොස්පර්ස්, සල්පර් වලින් සමන්විත වේ.
හියුමස් අස්ඵටික හා කලිල ස්වභාවයෙන් යුක්ත නිසා මැටි පස මෙන් පස් ගුණයක් පමණ ජලය අවශෝෂණය කිරීමට හැකිවෙතැයි සොයාගෙන ඇත. හියුමස්වල පවතින කලිල අංශු බදාම ලෙස ක්‍රියාකර පස් අංශු එකට බැඳී තබයි. එම ලක්ෂණය මගින් පසේ ව්‍යුහය දියුණුවීමටත් වාතය ලබාදීමටත්, සෝදා පාළුවට ප්රතිවිරෝධී බලය වැඩිකිරීමටත් ආධාර වෙයි. හියුමස් වල දුර්වල කාබනික අම්ලයන්ගේ ක්‍රියාකාරී කාණ්ඩ අඩංගු නිසා පසෙහි පී. එච්. අගයේ ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියා කරයි.
ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනයට අවශ්‍ය ශක්තිය ලබාදීමේ හැකියාව හියුමස් වලට ඇත. හියුමස් මැටි පස හා එකතු වෙමින් මැටි හියුමස් සංකීර්ණ සෑදිය හැකිය. එමෙන්ම කැල්සියම් අයන මැග්නීසියම් අයන හා පොටෑසියම් අයන හියුමස් වලින් දරා සිටින්නේ නම් ඒවා පහසුවෙන් ශාක වලට ලබා ගත හැක.
අලූමිනියම්, මැංගනීස්, පෙරස්, කොපර්, සින්ක් වැනි දෑ හියුමස් සමග සංකීර්ණ සෑදීම නිසා ඒවායේ ජල ද්‍රාව්‍යතාවය වැඩිවේ. ඉතා අධික භාෂ්මික විනිමය ධාරිතාවක් හියුමස් වලට ඇත. හියුමස් වල ඇති නයිට්රජන්, පොස්පරස්, පොටෑසියම්, සල්පර් වැනි ද්‍රව්‍ය හියුමස් වල අන්තිම ඵලයන් ලෙස ශාකවලට ලබාගත හැකිවේ. එම නිසා හියුමස් පෝෂ්‍ය ද්‍රව්‍ය ගබඩාවක් ලෙස ක්‍රියා කරයි. හියුමස්වල ඇති පෝෂ්‍ය ද්‍රව්‍ය මුදා හැරීමට පසේ වෙසෙන ඇක්ටිනො මයිසිට්ස් ඛාණ්ඩය ඉතා වැදගත් වේ.
හියුමස් ඇති පසේ තද පාටක් ගනී. නමුත් යකඩ ඔක්සයිඩ සහිත පස්වල එය රතු හෝ කහපාට විය හැකිය.
(මුලාශ්‍රය මධ්‍යම කෘෂිකර්ම පර්යේෂණායතනය
127104 මොඩියුලය - ජා. අ. ආයතනය)