දිනක් කිරි හාමි කජු පුහුලම් කෑමට යාළුවන් සමඟ ගඟ ළග කජු ගහට ගියේ ය. කවුරුත් අත පොවන තැන් වල වූ පුහුලම් කඩා කන්නට වූහ. ගඟට නැමුණු අත්තක අග ලොකු පුහුලමක් දැක, කිරි හාමි ට එය කන්නට ආශාවෙක් විය.
"යන්නට එපා, යන්නට එපා, අත්ත කඩා ගෙන වැටෙයි" යනු යාළුවෝ කීහ. කිරි හාමි එය නො අසා අතු අගට ම ගියේය. "ජරාස්" යන අනුකරණයෙන් අත්ත කැඩී කිරි හාමිත් සමඟ ගඟට වැටුණේ ය. කිරි හාමි හොදට ම තෙමුණු නමුත්, යන්තම් පණ බේරා ගෙන ගොඩ ආයේ ය.
සීතලක් දැනුණෙන්, එදා සඟ නම කී වචන සිහි වී කිරි හාමි වහා හිසත් පයත් අත ගා බැලී ය. දෙපළ ම එක සේ සීතලය. "මා මළා, මා මළා" යි මහ හඩ නඟමින් හේ බිම පෙරැළුණේ ය. යහළුවෝ වහා ළං ව ඔහු ඔසවන්නට උත්සහ කළෝය.
"මා මළ, මා මළා" යි කියමින් කිරි හාමි බිමට ම වැටුණේ ය.
"කිරි හාමි, ඔබට පිස්‌සු ද? නැගිටිනවා, නැගිටිනවා"
"මා මළා නැගිටින්නේ කෙසේ ද?"
"මළ? මළ නම් දොසවන්නේ."
"මළ අය දොඩන්නේ නැද්ද? එදා අපේ ගෙදර මඟුල් දවසේ හාමුදුරුවෝ කීවා, හිසත් පයත් එක සැටි සීතල වුණු දා මළා තමයි කියා"
"අනේ, කිරි හාමි, පිස්‌සු නැතිව නැගිටිනවා. යමු ගෙදර."
"මා මළා ගෙදර යන්නේ කෙසේ ද? හාමුදුරුවෝ දිවැසින් දැක ලා කීවේ. පුළුවන් නම් මගේ මළ කඳ ගෙදර ගිහින් දමනවා."
යාළුවෝ කිරි හාමි උස්‌සා ගෙන ගෙදර ගොස් සියළු සිද්ධිය කීවෝ ය. කිරි හාමි ගේ මවුපියෝ ඔහු නැගිටුවන්නට නොයෙක් උත්සහ කළා හ. එහෙත් හේ නො නැගිටියේ ම ය. "හාමුදුරුවන් හට වඩා දන්නා කෙනෙක් නෑ. හාමුදුරුවන් දිවැසින් දැක කී දේ වරදින්නට පුළුවන් ද" යි කියමින් "මා මළා, ඉතින් මා වළ ලන්නේ නැද්ද" යි හඩ දෙන්නට වීය.
"අනේ කිරිහාමි පිස්‌සු නැතිව නැගිටින්න. මේ බත් කන්න. මේ කිරි බොන්න" යි කියමින් මවුපියෝ කන්නලව් කළ හ. කිරි හාමි ඒ කිසිවකට ඇහුම් කන් නොදී, "මා වළ ලන්නේ නැද්ද" මා මළාට හඬන්නේ නැද්ද?" යනාදිය කියමින් මර හඩ ලන්නට ම විය. අවට නෑයන් අවුත් කිරි හාමි නැගිටුවන්නට කළ වෑයමින් ද කිසි පලෙක් නුවුයේ ය.
අන්තිමේ දී කිසිවක් කැරැ ගත නොහී කිහිප දෙනෙක් කිරි හාමි ඔසවා ගෙන සොහොනට ගොස් පස් ගොඩ දෙකක් අතරේ හොවා ආවෝය. කිරි හාමි එයින් සැනැසී සැබැවින් ම මළාක් මෙන් ඇස් දෙක පියා ගත්තේ ය. දැත් එක් කොට බඩට දුන්නේ ය. දෙපය ළං කෙළේය. ඇඟ කෙලින් තබා නිසොල්මන් වූයේ ය.
