ගම දුවගේ මඟුල් දවස පැමිණියේ ය. ගම ගෙදර ඉදිරියෙ හි මහත් තොරණයෙකි. ගෙය වියන් බැඳ සියලු ඇඳ පුටු සුදු අතුරා අලඬකාර කරන ලද්දේ ය. නෑදෑයෝ වටින් පිටින් එන්නට වූ හ.
ඒ කිරි හාමිට බොහෝ ම හොඳ දවසෙකි. "අනේ, අම්මේ, ඉතින් ආයෙත් මෙහෙම දවසක් ළඟ දී ඒ දෑ" යි කිරි හාමි නොයෙක් වර ඇසී ය. "ඇයි, ඔබට හිර ගෙනෙන දා" යනු මව ගේ පිළිතුර ය.
කිරි හාමි වරක් කැවුම් තුබූ තැනට ගොස් ඉන් හත අටෙක රස බලයි, වරක් කිරිබත් කැටි කරන තැනට ගොස් ඉන් කැටි හත අටකට ඉඩ ගෙන දෙයි. "කිරි බතේ ලුණු කිරි රස ඇද්ද, පුතෙ" යි මව අසයි. "අනේ, මා දන්නේ නෑ අම්මේ. ගුණ දොස් කිය කියා වැඩේ පාළු කරන්නට ආවා නො වෙයි මා" යි කියමින් කිරි හාමි තමා ගේ කටයුත්ත ම කෙරෙයි.
දැන් ගෙය නෑදෑයන් ගෙන් පිරුණේ ය. බත් වේලාව ද ළඟ ය. "පුතේ අනේ, හොඳ පුතා වගේ, මේ අමුඩයත් කලයත් ඇර ගෙන අර වෙලේ ළිඳට ගොහින් නා ලා එන්න. අද මේ මඟුල් දවසේ හොඳට පිරිසිදු වී ඇඳ ගෙන ඉන්නට එපා යැ" යි මව කීවා ය. වෙන දා මෙවැනි කීමක්‌ම නො සැළකුවත් එදා කැවුම් කිරි බතේ අනුහසින් කිරි හාමි කීකරු විය.
වෙලේ ළිඳ ළඟ කඹයෙක් නොවී ය. කිරි හාමි ට දිය ලණුයෙක් ද නොවී ය. ඉතින් කෙසේ අමුඩ ගසන්නට ද? කොසේ ළිඳෙන් දිය අදින්නට ද? වෙලේ ළිඳ ළඟම දිග එළි කැර සිටි ගොනා දැක කිරි හාමි කඹය කණුවේ බැඳි කොන ළිහා ගත්තේ ය.
අනෙක් කොන ගොනා ගේ කරේම ය. කිරි හාමි කඹයේ මැද ඉණේ දවටා ගෙන අමුඩය ගසා ගත්තේ ය. කොන කළයේ බැඳ දිය ඇද ඇද නාන්නට විය.
මේ අතර ඒ අසලින් ගිය සඟ මනක් ඒ දැක, "මහ මෝඩයෙක් ගොනා කඹය ඇද්දොත්" කීයේ ය. "කඹය ඇද්දොත්, එහෙනම් මා අදින්නේ" යි කියමින් කිරිහාමි නෑවේ ය.
"කඹය ඇද්දොත්
බිම පෙරැළෙ යි
කළය බිඳෙ යි
ගොනා දිවෙ යි
වැඩ ගොඩ වෙ යි"
යනු කියමින් සඟ නම ගියේ ය.
වරක් කිරි හාමි දිය කළය හිසට ඔසවනු හා සමඟ ම කඹයේ තදය දැනී, ගොනා හිස ගැස්‌සී ය. එය්න් පය ලිස්‌සා ගොස් කිරි හාමි ළිං පඩිය උඩ වැටී, කළය මහ හඩින් කුඩුවිය. ගොනා බිය ගෙන කිරි හාමි ද ඇද ගෙන දුවන්නට වන්නේ ය.
ඒ නියරෙහි මේ නියරෙහි හැපීමෙන් කිරි හාමි ට බොහෝ තුවාල විය. වේදනාව ඉවසා ගත නොහී හේ මර හඩ දෙන්නට විය. එහෙත් ගොනා නො නැවතී ම දිව්වේ ය.
කිරි හාමි ගේ මර හඩ ඇසී, ගෙදර මිනිස්‌සු වහා දිව අවුත්, කඹය කපා ඔහු ගලවා ගඒතෝ ය. නිදහස් වූ වහාම කිරි හාමි සඟ සොයා දුවන්නට වන්නේ ය. "පුදුම හාමුදුරු කෙනෙක් මා වැටෙන බව, කළය බිඳෙන බව, ගොනා දුවන බව කලින් ම කී හැටි" යි සිතමින් හේ පසු නො බලා දිව්වේ ය. සඟ නම දුටු තැන දී ම කිරි හාමි වැඳ වැටුණේ ය.
"අනේ, හාමුදුරුවනේ, අර මා වැටෙන බව, කළය බිඳෙන බව, ගොනා දුවන බව, කලින් ම දැක්‌කේ දිවැසින් ද?"
"ඔව්"
"අනේ එහෙනම් මා මැරෙන දවසත් කියන්න"
"හිසත් පයත් එක තරමට සීතල වුණු දා"
මෙසේ කියා සඟ නම ගියේ ය. "මැරෙන දවස දැන ගතිමි" යි කියමින් කිරි හාමි ගෙදර ආයේ ය. ගෙදර කලබලය එයින් නැවතී මඟුලේ කටයුතු හොඳින් කැරුණේ ය.
