නෙරළුවේ කුසල් හාමි ගමරාළ හොඳ පොහොසතෙකි. ගොඩින් අමුණු පහක් ද මඩින් අමුණු හතක් ද පමණ ඉඩම් ඔහුට ඇත. ඔහුගේ මහ පෙට්‌ටියේ යට තට්‌ටුව අත ගා බලන්නට ලැබුණොත් ඔහුට මුදලුත් ඇත්ද නැද්ද යනු හොඳින් දැන ගත හැකිය.
සැකසුරුවම් කමින් කුසල් හාමිනේ හිමියාට කිසිසේත් දෙ වැනි නොවේ. පෙට්‌ටියේ මුදල් රැකෙතෙයි ඇය ගේ විශ්වාසයෙක් නැත. එක එක ලිග්ගල ළඟ වළ ලන ලද මහ කැටයක් පමණ මුදල් රකින්නට හොඳ දෙයක් නැති බව ඕ දනී. ඇය විසින් මුදල් රැක්‌ක යුත්තේ හිමියා ගෙන පමණෙකි.
ඊට මේ තරම් හොඳ ක්‍රමයක් තවත් නැත. මේ දෙමහල්ලන්ට පුතෙක් ද දුවෙක් ද වූහ. දුව රූමත් තරුණියකි. ඇය ගේ කෙස් වැටිය විදා ලු කළ දණට වැටේ. ඇඟ තැඹිලි පාට ය. උදයම මැද්දාට පසු නම් දත් සුදුය. හවස් වන විට එ රතට හැරෙයි.
හොඳ උස මහතින් යුත් මේ තරුණිය දෙමවීපියන්ට මහත් ආඩම්බරයෙකි. පුතා ගේ නම කිරිහාමි ය. හේ උස් ය. මහත් ය. කදිම පෙනුමක් ඇත්තෙකි. ළමා කල අකුරු කරන්නට ය යි අසල පල්ලියට යැවූ නමුත් ඔහු දන්නා අකුරක් නැත. ඔහුගේ නුවණ කො තරම් දැ යි කියත හොත් අසල කවුරුත් ඔහුට "පණ්‌ඩිතයා" ය යි කියති. කිසි දෙයක් ගැන කල්පනාවක් කිරීම ඔහුට නුවුව මනා බැවින් මේ නම හොදටම සුදුසු යයි මවුපියෝ ද කියත්.
ගම පුතාට තවත් නමෙක් වෙයි. එ නම් "කිරි බත් හාමි" යනු යි වෑ දමක් වූ දා හෝ මඟුලක් වූ දා හෝ බොහෝ දෙනා රැස් ව සිටිත් දී ම, කිරි බත් ගොඩක් සොයා ගන්නට බැරි වන ලෙස හංගන ගුරුකමක් කිරි හාමි දනී. එ සේ කරන්නේ, අනුනට ඉඩක් නොදී ම පණ්‌ඩිත කම් දොඩමින් ය. " කිරි හාමි " යන්නට " බත් " යන ටික නිකම්ම එකතු වුණා නොවන බව මෙයින් පෙනේ.
නිදන්නට ගිය විට කිරි හාමි රැ දවල් වෙනසක් නොදනී. "මේ කටයුතු ය. මේ නො කටයුතු ය" යන්නක් කිරිහාමි කිසි විටෙකත් නො දකී. ඔහුට හිතුණොත් සියල්ලම කටයුතු ය, නො සිතුණොත් සියල්ල ම නො කටයුතු ය, මේ නිසා කිරි හාමි ට ඇති තවත් නම් බොහෝ ය.
කොපමණ නම් ඇති වුවත් කිරි හාමි ගේ හොඳ ගුණයෙක් වෙයි. එ නම් නම්බු නමක් වුවත් අවනම්බු නමක් වුවත් එක ලෙස සැලකීමයි. මේ නිසා කිරි හාමි ගේ හිතට කිසි පීඩාවෙක් නැත. එ හෙයින් ලෙඩ දුක් ඔහු නො දන්නා දෙයෙකි.
ලෙඩක් දුකක් නැති හෙයින් කිරි හාමි කන බොන දෑ හොඳට ඇඟට අල්ලයි. ඉතින් ඇඟ මහත් වීම පුදුමයෙකැ.? අනෙක් අයටකෙසේ කළ දවස ගියත් කිරි හාමි සුව සේ ම ජීවත් වීම පුදුමයෙකැ?
