හිවලාවල ඊයේ පැවැති උත්සව ශ්‍රීය අද නැත. හිවල් පැටව් බඩ ගින්නේ කෙඳිරි ගාති. තරුණ සිවල්ලු පෙර පුරුදු දඩයම් ගැන සිතා ඇඟ කිළි පොළා ගිය පණ හැරී ආ ලෙසක් දක්‌වා ගුහා දොරට ළැහැබ අයිනට ගොස් මරු අවතාර දුටුවා සේ බියෙන් වෙවුලා යළිත් ගුහාවට ළැහැබට වැද බඩගින්නේ ම නිදන්නට වෙති. මුළු හිවලා වල අවමඟුල් ගෙයක් මෙන් විය.
වැඩි හිටි සිවල්ලු කීපදෙනෙක් කොළයක් වැටෙන හඩිනුදු තැති ගනිමින්, තමන් ගේ ම සෙවණැල්ල ද දැක දිවෙන්නට හැරෙමින්, ඉතා පරිස්‌සමින් ඒ මේ අත බලමින්, කිහිප අතෙකින් ළැහැබින් මෑත් ව ගල් කෙම දෙසට යෙති. ඒ එක එකා අනෙකකු දැක හැරී මදක් දිව ගොස් පසු බලයි. තමා පස්‌සේ එන්නෙකු නැති හෙයින් හොදට ම බලා, ඉතිරි අය නෑයන් බව දැන ගෙන, සුසුමක් හෙළා ළය බුරුල් කොට ගෙන, සැක නැතිව ගල් කෙම ළඟට පැමිණේ.
නුවණ හාමි විහිළු හාමි ආදි නායක හිවල්ලු කීප දෙනෙක් පිපාසාව ඉවසා ගත නො හී එසේ පැමිණියෝ ය. එකෙකුත් බසක් නො කියය. නුවණ හාමි සැක නැතිව බිය නැතිව ගල් කෙමට ළං ව පැන් බොන්නට හොස්‌ස දිගු කළා පමණෙකි. පැන් හොස්‌සෙහි ගෑවෙන්නට ද ඉඩෙක් නොලැබුණේ ය. මරුවා ම දුටුවකු මෙන් නුවණ හාමි හඬක් නඟා ගෙන, ආපසු හැරී ඊයේ කුකුළා ගමුවෙන් දිව්වාට ද වඩා වේගයෙන් දිව ගොස් ළැහැබට ම වන්නේ යැ. සෙසු සිවල්ලු ද සිතන්නට නො නැවතී, "අහන්නට පසුව පිළිවන, දැන් යන්තම් ගැලැ වුණොත් ඇතැ" යි දුවන්නට ම වන්හ.
එකෙක් නුවණ හාමි පස්‌සෙන් වැටුණේ ය. නුවණ හාමි ගේ දිවීම තවත් වේගවත් විය. "භුං භුං" යන හඬවත් නැත්තේ මන්දැ යි සිත සිතා ඉන්නට දැන් කල් නැත. ඕනෑ පණ බේරා ගැනීමට යි. හේ දිවෙයි. ඔහු දිවෙන නිසා පස්‌සෙන් දිවෙන සිවලා ද දිවෙයි. උන් දිවෙනු බලා සෙසු සිවල්ලු ද දිවෙති. දිවෙන්නට පිළිවන් සියල්ලෝම දිවෙති. මෙසේ දිව ගොස් සියල්ලෝ ම ගල් ගුහා තුළට වැදුණෝ ය.
නුවණ හාමි වන් ගුහාවටව පස්‌සෙන් දිවූ සිවලා ද වැදුණේ ය. තවත් දිවෙන්නට ඉඩ නැති හෙයින් නුවණ හාමි හැරුණේ ය. ඒ සමඟ ම පස්‌සෙන් ආ හිවලා ගේ ඇගෙහි හැපී බිම පෙරැළුනේ ය. "දැන් දැන් බලු හාමි ගේ තියුණු දත් බෙල්ලේ වදිති" යි බියෙන් වෙව්ලා ගියත්, නුවණ හාමිට එ බඳු අන්තරායක් නොවී ය. මඳ කොට ඇස් ඇර බැලූ ඔහුට පෙනුණේ කිමෙක් ද? පණ යන තරම් හති දමමින් උන් විහිළු හාමි ය.
තොලේ කටේ වියැළී ගතිය මදක් ඇරුණාට පසු නුවණ හාමි දෙඩුවේ ය.
"ඒ විහිළු හාමි ද?"
"ඔව්" ය යි විහිළු හාමි හීන් හඩින් පිළිතුරු දුන්නේ ය.
"මා පස්‌සේ දිවුවේ ඔබ ද?"
"ඔව්"
"අනේ, මා රැවටුණූ රැවටිල්ල!"
"ඇයි"
"මා හිතුවේ බලු හාමි මා පස්‌සෙන් එලවා ගෙන ආවා යි කියා"
"බලු හාමි කොහි ද?"
"මා ගල් කෙමට හොස්‌ස දික් කරනවාත් සමඟ ම බලු හාමි ගල් කෙමේ හැංගී සිට හොස්‌ස දික් කළා. මා හැරී දිවුවා, නො දිවුවා නම් මගේ කැරුම් ඉවරයි"
"බලු හාමි ගල් කෙමේ සිටියා!"
"ඔව්, මා හොදටම දුටුවා. මගේ හොස්‌ස අල්ලගන්නට හොස්‌සත් දික්‌කළා."
"බල්ලන් දියේ හැංගිලා ඉන්ම බවක් මා ඇසුවේ නෑ. ඉතින් බලු හාමි දැන් කොහි ද?"
"මා දන්නේ නෑ මා හිතුවේ අප පස්‌සෙන් එළවා ආවා කියා."
"ඇයි අපට "භුං භුං" කියනවා නෑහුණේ?"
නුවණ හාමි හිතන්නට වූයේ ය. විහිළු හාමි තවත් ප්‍රශ්ණ ඇසීය.
"ඔබ බලු හාමි හොදින් ම දුටුවා?"
"මට මතකයි වාගෙයි"
"ඒ ඔබ ගේ සෙවනැල්ල වෙන්නට බැරි ද?"
නුවණ හාමිට නුවණ ආයේ එයිනුයි. ඔහුට මහත් ලජ්ජා ඇති විය. එය වසා ගන්නට හීන් හිනාවක් පෙන්වීය.
"අනේ ඇත්තෙන් ම මා රැවටුණා වෙන්නට පිළිවනි. බල්ලන් දියේ හැංගෙන්නේ නෑ. දියේ පෙනුණු මගේ ම සෙවණැල්ල බලු හාමි වාගේ මට පෙනෙන්නට ඇති. දැන් එයින් කමෙක් නෑ යමු පැන් පොදක් බොන්නට, මට බඩ ගිනි නම් ඉවසා ගත ගත හැකි, පිපාසාව ඉවසා ගන්නට බැහැ."
මෙසේ කියා නුවණ හාමි ගල් ගුහායෙන් නික්‌මුණේ ය. විහිළු හාමි පස්‌සෙන් වැටුණේ ය. ඔවුන් මෙන් ම දිව අවුත් ගල් ගුහා වල සැඟැවී, කාරණය නොදැන සිටි අනෙක් සිවල්ලු මහ ජයක් ලැබූ වීරයන් යන දෙදෙනා දැක, මඳක් සැනසිලි ලැබ, ගුහා වලින් මෑත් වූහ. වට පිට බැලූහ. බයක් නැති බව දැන ඔවුන් ද පස්‌සෙන් වැටුණෝ ය. සියල්ලෝ ගල් කෙම වට සිට ගත් හ. එකෙකුත් බසක් නොකියයි. අන්තිමේ දී ඉවසිලි නැති මහළු සිවලෙක් කටේ වැස්‌ම බුරුල් කළේ ය.
"අනේ හැබෑවට ම ඒ කුමක් වුණා ද? ඇයි සියල්ලන් ම දිවීවේ?"
විහිළු හාමි නුවණ හාමි දෙසට හොස්‌ස හරවා, මදක් ඉඟි මරා උත්තර දුන්නේ ය. "බලු හාමි මේ අපේ රාළහාමිගේ පස්‌සෙන් දිව්වා නොවැ?"
"බලු හාමි" ය කියනවාත් සමඟ ම සියලු සිවල්ලු උඩගොස් වැටී ඇස් මහත් කොට ඇර වට පිට බලන්නට වූහ.
"නෑ, නෑ, දැන් බලු හාමි නෑ. රාළහාමි පැන් බොන්නට හොස්‌ස ගල් කෙමට දික් කරනවාත් එක්‌ක, දියේ හැංගී සිටි බලු හාමි රාළහාමි ගේ හොස්‌ස කඩා ගන්නට පැන්නා. ඉතින් රාළහාමි දිවීවා, මාත් දිවීවා, ඔබත් හැමත් දිවීවා. මා රාළහාමිගේ පස්‌සෙන් දිවීවා. රාළහාමි හිතා ගත්තා බලු හාමි පස්‌සෙන් එළවා ගෙන එනවා කියා. ඉතින් පණ එපා ය කියා දිවුවා තමා, මාත් නෑර ම දිවුවා. රාළහාමි ගුහාවට වැදී පස්‌ස බැලුවාම තමා ඇත්ත එළි වුණෙ?"
නුවණ හාමි රවා බැලීය. සෙසු සියලු සිවල්ලු සිනාසෙන්නට වූහ.
"ඉතින් කොහි ද බලු හාමි?" ය යි එකෙක් ඇසීය.
"බලන්න, බලන්න තව ම ගල් කෙමේ ඇති" ය යි විහිළු හාමි කීය.
සිවල්ලු නැවත ද වෙව්ලා ගියෝය. එකෙකුත් ගල් කෙමට ළං නොවෙයි. " මා බලනවා කමෙක් නෑ අහු වුණත්, හැමදා ම ඉන්නට පුළුවන් ද? මැරෙන දවසකුත් එනවා නොවැ?"
මෙසේ කියා විහිළු හාමි, ඇඟ වෙවුලුව මින්, හිස සලිත කෙරෙමින්, ඇස් ඔරවමින්, අඩිය ගල් කෙමට ඇදුණේ ය. නුවණ හාමි ලැජ්ජායෙන් බිම බලා ගත්තේ ය. ඉතිරි සිවල්ලු ඈත් ව සිටියෝ ය.
විහිළු හාමි කෙමට ඇදෙයි. වරක් සර්වාංගය වෙවුල්ලයි, වරක් හිස සලිත කෙරෙයි, ඇස් බමවමින් වරක් දකුණු අත බලයි, වරක් වම් අත බලයි, වරක් කට ඇර හිස ඔසවා කෙමට එබෙයි. මෙසේ මදින් මද ඇදී දිය කෙළවරට ළං වූ විහිළු හාමි එක් වරම දිවෙන්නට මෙන් ඉඟිළුනේ ය. නුවණ හාමි හැර සෙසු සියළු සිවල්ලු බඹ ගණන් දිව ගොස් හැරී බැලූ හ. විහිළු හාමි සිනාසෙයි. නුවණ හාමි තවම බිම බලා සිටී, වරින් වර මදක් හිස ඔසවා විහිළු හාමි දෙස රවා බලයි.
දිවූ සිවල්ලු විහිළු හාමි ගේ විහිළුව හැදින හැරී ආවෝ ය. විහිළු හාමි හිනාව උත්සහායෙන් නවත්තා ගෙන දෙඩුවේ ය.
"ඇයි දිව්වේ?"
"ඇයි ඔබ දුවන්නට ඉගිළුණේ?"
"මා හිතුවා බලු හාමි දියේ හැංගි සිට ටිකින් ටික ළං වුණා ය කියා, පස්‌සේ මට අහුවුණේ? ඒ මගේම හෙවනැල්ල."
අනේ! සිවලුන් සිනා සුණ සැටි! සමහරු බිම පෙරැළි පෙරැළී සිනා සුණෝ ය. ඊයේ වුණ හරිය මොහොතක් මතක නැති විය. නුවණ හාමි පමණක් බිම බලා ගත් වන ම නොසෙල් වී සිටියේ ය. ඔහුගේ තේජස් දැන් නැත. ශෝකයෙනුත් ලැජ්ජාවෙනුත් පිරිණු ඔහු ගේ ළයෙහි වෙන කිසිවෙකුට ඉඩෙක් නැත.
පැය බාගයක් පමණ සිනායෙන් ම ගත වූ පසු විහිළු හාමි නුවණ හාමිට ළං වූයේ ය. "එන්න, රාළහාමි පැන් පොදක් බොන්නට, විහිළුත් එපැ යෑ? එය නැත්නම් සිතට නැගෙන්නේ ජීවිතයේ කරදර ම යි. එ විට ජීවිතය තිත්ත වෙයි. එන්න, එන්න."
නුවණ හාමි කීකරු වූයේ ය. ඉතිරි සිවල්ලු ද කෙම දෙසට ඇදුණෝ ය. දැන් ගල් කෙම වටා එක සිවල් වැටෙකි. සියල්ලෝ ම පැන් බොති. සියල්ලන් ගේ දිව් පැනට ඇදී හඬක් නගමින් පැන් පටලවා කටට අදී. සියල්ලෝ වරක් හිස ඔසවා තොළ කට ලෙව කා පූ පැන් ඇද්දැයි බලති. මදි බව පෙණී යළිත් හොස්‌ස දියට ළං කෙරෙති. දිව් එළියට ඇදී "තව තවත්, තව තවත්, තව තවත්" ය යි කියන්නාක් මෙන් ශබ්දයක් නඟමින් පැන් පටලවා ගෙන කටට අදී.
පිපාසාව සන්සිදුණු පසු සියල්ලෝ කෙම් ඉවුරෙහි එක්‌තැන් වූහ. විහිළු හාමි දෙඩීම පටන් ගත්තේ ය.
"මගුල් කෑමට පස්‌සේ පැන් පූවේ දැනු යි."
සිවල්ලු හොර ඇසින් නුවණ හාමි දෙස බලා හීන් සිනා සෙන්නට වූහ. නුවණ හාමි රවා බලා කෝපයෙන් දෙඩුවේ ය.
"හැම වෙලාවට ම හැම තැනම විහිළු හොඳ නෑ. මගුලේ දීත් විහිළු, ඉලව්වේ දීත් විහිළු! අපට දැන් මගුල් නොවේ. ඉලව් අනේ, මගේ පුතා!"
නුවණ හාමි ගේ ඇසින් කඳුළු කඩා හැලෙන්නට වූයේය. ඉතිරි සිවල්ලු ද මුහුණු හකුළුවා ගත් හ. සමහරු හඩන්නට ද උත්සහ කළ හ. ශෝකයට වාරය පැමිණි යේ ය. විහිළු හාමිට පවා විහිළු මතක නැති වුණා මෙන් විය.
"අනේ ඒ කුමක් වුණා දැ" යි එක් මහළු සිවලෙක් ඇසී ය. නුවණ හාමි ඉකි ගසමින් දෙඩුවේ ය.
"කුමක් වුණා ද ? අනේ අපේ සියළු අදහස් සම්පූර්ණ වන්නට ළං වුණා විතරයි. ගොවි හාමි ගේ ගිනි දණ්‌ඩ පිපුරුණා. කොයින් ආවා ද මා දන්නේ නෑ. අනේ මගේ පුතා! මෙ පමණ අප සිටිය තැන මගේ පුතාට ම නොවැ එය වැදුණේ. අනේ මගේ පුතා!"
නුවණ හාමිට තවත් දොඩා ගන්නට බැරි විය. වෙන සිවලෙක් පටන් ගත්තේ ය. "වෙන කාට වදින්න ද ? හීන් හාමිට ඉවැසිය නැතිව ගියා. ඔහු අර කිකිලිය කටට ම ගත්තා. ඈ මර හඬ දුන්නා විතරයි, "ඩෝන්" ගාලා පිපුරුවා."
තවත් සිවලෙක් කටේ අගුළු හැරියේ ය. "ඒ පමණක් ද? ඒ එක්‌කම අර කාලකණ්‌ණි බලු හාමි කඩාගෙන පැන්නා. ඊට පසු කුමක් වුණා ද කියා වත් මා දන්නේ නෑ."
දැන් සිවල්ලු එක එකා පරදවා දොඩන්නට වදිති.
"අපේ කපට හාමිත් සිටියේ හීන් හාමි ළඟම යි. අනේ ඔහුට වත් බැරි වුණා නොවැ අසරණ හීන් හාමි ගලවා ගන්නට? කපට හාමි මන්ද හීන් හාමිට පිහිට නූණේ.?"
සියල්ලෝ ම කපට හාමි ගේ පිළිතුර අසන්නට කන් කෙළින් කළහ. එහෙත් කපට හාමි ගෙන් හඬක් නොඑයි.
"ඇයි කපට හාමි නො දොඩන්නේ? කොහි ද,කොහි ද, කපට හාමි."
සියලු සිවල්ලු දැන් කපට හාමි සොයති. හීන් හාමි ගැන නොසලකා පණ බේරා ගන්නට දිවූ හෙයින් ලැජ්ජායෙන් ඔහු මුහුණ සඟවා ගෙන ඇතැයි කවුරුත් සිතු හ. කපට හාමි නම් දක්‌නට නැත. "කපට හාමි, කපට හාමි," ය යි මහත් හඬින් නැඟුව ද පිළිතුරෙක් නො ලැබෙයි.
නුවණ හාමි ගේ සිත ද කපට හාමි දෙසට හෑරුණේ ය. ඔහු ගේ පුත්‍ර ශෝකය ද නැති විය.
"ඇයි, කපට හාමි නැද්ද? බලන්න, බලන්න." ඒත් කපට හාමි නම් නැතිම ය. මේ තාක් නිහඬව සිටි විහිළු හාමි හඬ නැගීය.
"කපට හාමි නැද්ද?"
"නෑ"
"යමු කුකුළා ගමුවට බලන්නට හැබෑවට ම හීන්හාමි ගැන නො සැලකුවා ට කපට හාමිට දොස් නගන සැටි. හීන් හාමිට ඉතා ලොකු සැලකිල්ල කෙළේ කපට හාමි. කපට හාමි පමණයි හීන්හාමි දෙසවත් බැලුවේ. හීන් හාමි වැටෙනවා සමඟ හයියෙන් ම දිව්වේ හීන් හාමිගේ කිට්‌ටු ම නෑයන්. කපට හාමි බැලු නිසා අර දරුණු බලු හාමි ගේ කටට අසු වුණා. එයින් කුමක් වුණා ද? කපට හාමි සිය ජීවිතය හීන් හාමිට පිදුවා. මාත් යන්තම් උදවු වන්නට පිළිවන් දැ යි බැලුවා. බලු හාමි කපට හාමිගේ උගුරු දන්ඩ කැඩුවාට පසුයි මා හැරී දිව්වේ."
විහිළු හාමිට පිටකර ගන්නට වූ යේ මෙ පමණයි. තවත් කිව යුතු දේ තිබුණත්, ඒ සියල්ල කටින් පිට නොවී උගුරින් ඇතුළට යන බව පෙනුණේ ය. විහිළු හාමි බිම බලා ගත්තේ ය. ඉතිරි සියලු සිවල්ලු ද මහත් ශෝකයෙන් නිහඬ වූහ. විහිළු හාමි ගේ උර හිස මත තිබූ මහත් තුවාළයෙන්, ඔහු ද බලු හාමිගේ කටින් සංග්‍රහ විදි බව කාටත් පෙණුනේ ය. "අනේ, කපට හාමි, අනේ, කපට හාමි," යනු සියලු සිවලුන් ගේ කටින් නික්‌මිණ.
මඳ වේලාවක් මෙසේ සිට දිග සුසුමක් හෙළා කවුරුත් යන්නට පිටත් වූහ. විහිළු හාමි සිට ඉදිරියට තැබූ පය පස්‌සට ඇඳ තබා,"රාළහාමි" යැ යි කීයේය. නුවණ හාමි පස්‌සට හැරී කන් කෙලින් කෙලේ ය.
"එදා අර අපේ ඔටීටුව" යි විහිළු හාමි කී ය.
"කවර ඔට්‌ටුව ද?"
"ඇයි ඔබට මතක නැද්ද? ඒ උගුල අටවන්නට මුල දී කළ ඔට්‌ටුව"
නුවණ හාමි හිස ඔසවා මඳක් සිතිවිල්ලේ උන්නේ ය. ඔහුට මතක් විය. ලජ්ජායෙන් සිත පිරුණේ ය. හිස පහත් ව බිමට හැරුණේ ය. ඔහු ගේ කටේ යතුරු වැටිණ.
"කිමෙක් ද, කිමෙක් දැ" යි සෙසු සිවල්ලු අසන්නට වූහ. එදා දෙඩුම අසා සිටි සිවල්ලු සිනා සෙන්නට වූහ. විහිළු හාමි කාරණය පහදා දුන්නේ ය.
"කුකුළු මස් හොඳට කන්නට සිතු අපේ රාළහාමි තමා මේ උපාය යෙදුවේ, මේ ගැන මා සැක කලා ම, රාළහාමි ඔට්‌ටුවක් අල්ලන්නට ආවා. අප එක එකාට අඩු ගණනේ එකා බැගින් වත් කුකුළන් මෙ තැනට නො ගෙනාවොත් නමේ මුලට "අ" යන්න යොදන්නට කීවා. අපි කීකරු වෙමු. අපේ රාළහාමි නොවැ."
"අනුවණ හාමි, අනුවණ හාමි" ය යි, හැඩි දැඩි සිවල්ලු කීප දෙනෙක් මහ හඬ නඟා කී හ.
කුමාරදාස මුණිදාස ශුරීන්ගේ "මඟුල් කෑම" ළමා කෘතිය ඇසුරෙනි.
