ඇරලීමේ ගමන
 

දැන් ගමනට සැරැසෙන වේලාවය. පති පක්‍ෂයේ අය මහත් නො ඉවසිල්ලෙන් බලා හිඳිති. වැඩි හිටියෝ "ඉක්‌මන් කරන්න, ඉක්‌මන් කරන්න" යි කියමින් ඒ මේ අත යෙති. යුවති පක්‍ෂයේ අය ඇර ලීමේ ගමනට සුදුස්‌සන් ඉදිරිපත් කෙරෙති.

ගමනට සැසුණත් ඉතා ටික බව දුටු නුවණ හාමි "හා, හා, මෙසේ කිරීම හරි නෑ. කුකුළා ගමුවේ අපේ සියලු නෑයන් ම මේ ගමනට නො යන්නේ මන් ද? අපි සියලු නෑයන් පිළිගන්නට සැරැසුණුමු" යි යුවති පක්‍ෂයේ සියල්ලෝ මහත් පුදුමයට පැමිණිය හ. මහ මල්හමි ඉදිරියට පැමිණ කථා කෙළේ යැ.

"ප්‍රිය නෑයිනි, එබදු සිරිතක්‌ ඇත් ද? ඇරලන්නට යන්නෝ යුවතිය ගේ මවු පිය දෙපක්‍ෂයේ කීප දෙනෙකි. අපට සංග්‍රහ කිරීමට ඔබ සැරසුණත් මඟුල් තුලාවලදී සිරිත් කඩ කිරීම අපට නො හොබී."

"කොහි ඇති සිරිතෙක්‌ ද? හිවලා වල නම් එ බදු සිරිත් නෑ. එන්නට හැකි තාක්‌ දෙනා කැන්ඳා ගෙන එති. යන්නට හැකිතාක්‌ දෙන ඇරලන්නට යෙති. ඉතින් ඊට වඩා හොඳ සිරිතෙකුත් ඇද්ද? පතියා ගේ පක්‍ෂයෙහි සියලු වැදගතුන් හට සංග්‍රහ කිරීමට ඉඩ පතියා ගේ පක්‍ෂයේ අයට ලැබේ." මෙසේ නුවණ හාමි පිළිතුරු දුන්නේ ය.

මහ මල්හාමි නො නැමුණේ ය. "එක්‌ පක්‍ෂයෙක සිරිත් ම ගන්නට යෑම අනෙක්‌ පක්‍ෂයට නින්දාවෙකි. දෙ පක්‍ෂය සමාන වෙතොත් ඔබ ගේ පක්‍ෂයට අපගේ පක්‍ෂයේ සිරිතට ද ගෞරවය කළ යුතු ය. මේ අපේ ම සිරිත් නොවේ. අප රකිනා මිනිසුන් ද මේ සිරිතට ගරු කෙරෙති."

නුවණ හාමි මදක්‌ ඉඟි මරා සරදම් සිනාවක්‌ සී පිළිතුරු දුන්නේ ය. "මිනිසුන් ගේ-නරන-ගේ-සිරිත් දැන් නරින් ගේ සිරිත් පමණ හොඳ නැති බව තව ම දන්නේ නැද් ද? මිනිසුන් ඒ ඒ තැනට පහසු අන්දමට වෙනස්‌කර ගනිති. මිනිස්‌සු පෙර දාවල් මඟුල් නෑකැත් නො ගත්හ. දැන් ගනිති. පෙර පාවහන් ලා ගෙන පුවරුවට නො නැංගෝ යැ. දැන් නගිති. පෙර පිළි සැබැවින් ම ඇන්දූහ. දැන් පිටින් තබා කටු ගසා මහා බොරුවක්‌ කෙරෙති. ඉතින් එබදු නරන් ගේ සිරිත් ද අපට ගන්නට කියන්නේ."

දැන් තවත් මහලු කුකුළෝ ඉදිටියට එති, කථාවට බැදෙති, මහ හඩින් ගුගුරති, තමන් ගේ සිරිත් කඩ නොකරන බව කියති. මහලු හිවල්ලු ද නුවණ හාමි ට එක්‌ව තමන් ගේ සිරිත් කඩ නොකරන බව කියත්. මෙසේ එහි මහත් කලබලයෙක්‌ විය.
මෙහි දී කපට හාමි මහ මල්හාමි පසෙකට ගෙන පසෙකට ගෙන රහසින් කරුණු පහදා දුන්නේ ය. "රාළහාමි දැන් පිටත් වන නැකැතත් ඉතා ම කිට්‌ටුයි. ඔබ ගේ කථාව හරි.

එහෙත් මේ කලබල කාරයන් කුමක්‌ කීවත් කලබල නැති ව සන්සුන් ව කටයුත්තට බාධා නොවන සේ පැවැතීම ඔබ වැනි මහ නුවණ ඇති උත්තමයන් ගේ සිරිත ය. පරණ සිරිත ම ගරු කිරීම අලුත් ලෝකයට නින්දාවෙකි. ඔබ ගේ ප්‍රිය දියණියන් අප ගේ තරුණයකුට දෙන්නේ පරණ සිරිත රැකීමෙන් ද? එන්න, රාළහාමි, ඔබ ගේ උසස්‌ බව මෙහි දී ද පෙන්වන්න. මේ කලබලය සන්සිදැවීමට ඔබ හැර සමතෙක්‌ මේ මුළු ලොව නැත්තේ ය."

මේ උදාර ප්‍රශංසායෙන් මහ මල් හාමි නිහඬ වි යැ. කපට හාමි ගේ තර්කයෙන් හේ නිරායුධ විය. එ හෙයින් මොහොතකුදු නො නැවතී ඉදිරියට අවුත් මහ හඩින් "කුක්‌ කු කු කු" ය කියා සියල්ලන් නිශ්ශබ්ද කොට, පති පක්‍ෂයේ යෝජනාවට තමා එකඟ වන බව ද සියලු නෑයන් එයට අවනත විය යුතු බව ද කීය. මහලු කුකුළන් ගේ කසුකුසුව සිවලුන් ගේ ප්‍රීති නාදයෙන් යට වී ගියේ ය.

කලබලය එයින් නැවැතිණ. දැන් සියල්ලෝ ම ගමනට පෙළ ගැසෙති. එක සැඳින් නායක බවට පමුණුවන ලද මහ මල්හාමි හාමිනේ ද සමඟ පළමු කොට නික්‌මිණ. නුවණ හාමි හාමිනේ සමඟ දෙවැනි විය. සෙසු කුකුළෝ ද, සිවල්ලු ද සුදුසු සේ පෙනුණු පිළිවෙලින් පිටත් වූහ. යුවති පති දෙදෙනා අන්තිමට පැමිණියෝ ය. සිවල්ලු ඉක්‌මන් වන්නට ඳඟලති.

එහෙත් කුකුළෝ කුකුළු ගමනින් ම යති. "අලුති පිළිවලට මෝටර් රිය වත් ඇත්නම් කොපමණ හොඳ දැ" යි එක්‌ සිවලෙක්‌ ඇසීය. "අපේ පයින් ගමන ම අපට හොදයි." යි කුකුළෙක්‌ කීය. "පයින් වුවත් අපට නම් හිවලා වලට පිනුම් කීය ද" යනු එක්‌ සිවලකු ගෙන් පිටවිය.

කවුරුන් කුමක්‌ කීවත් ගමන නම් ඉතා සෙමෙන් ය. කපට හාමි යස යෝජනාවක්‌ කෙළේ ය. "අපේ නෑයන් අපේ ම පිට උඩ තබා ගත් කල අපට ඉතා ඉක්‌මනින් ගිය හැකි වෙය." පොර කටු ඊට විරුද්ධ වූ යේ ය. "ඔබ ඉක්‌මනින් දිවෙන කල අපි කෙසේ පිට උඩ හිදිමු ද? අප බිමට පෙරැලී තුවාල වු කල කවර මඟුලෙක්‌ ද?" පිට උඩ යෑමේ යෝජනාව ඉන් අබල වූයේ ය.

ඉක්‌බිති පතියා යෝජනාවක්‌ කෙළේ ය. "නොවැටෙන ලෙස ගෙන යන්නට මම ගුරු කමක්‌ කියමි. මම මගේ ප්‍රියාව මගේ කටින් ම ගෙන යමි. අපගේ පක්‍ෂයේ ඉතිරි අයට ඇයගේ පක්‍ෂයේ ඉතිරි අය එසේ ගෙන යැම බැරිවේ ද? "පිළිවනි, පිළිවනි" යි ඉතිරි සිවල්ලු එක්‌ හඬ නැගුහ.

පතියා ඉක්‌මන් විය. යුවතිය හෝ ඇය ගේ නෑයකු හෝ හඬක්‌ නඟන්නට පෙරැ හේ සවකීය ප්‍රියාව ගේ ගෙල මුවින් ගත්තේ යැ. කිකිළිය මර හඬ ලන්නට වූවා යැ. අසල ලැහැබෙකින් පිපිරෙන මහ හඩක්‌ නැගිණ, ගිනි දළුවෙක්‌ ද පිට විය.

හීන් හාමි යුවතිය හෙළා කෙඳිරි ගාමින් බිම හොත්තේ ය. "භුං භුභුං" යන හඬක්‌ නගා ගෙන සිවලුන් ගේ ආදි නෑයෙක්‌ ද සැණෙකින් එ තැනට පැමිණ මහ සිවලෙකු කටින් වැළැඳැ ගෙනැ ඒ මේ අත පෙරැළෙමින් අමුතු පිළිවෙළෙක ආදරයක්‌ දක්‌වන්නට වූයේ ය. සෙසු සියලු සිවල්ලු "කුකුළු නෑයන් ගේ ගමන් එවුන් විසින් ම බලා ගත යුතු ය." යි කියන්නා සේ සතර පයේ මුළු ශක්‌තිය හිවලා වල දෙසට හැරැවූ හ. මුළු කුකුළු රැළ, මගුල් ගමන් කල් තිබුවා සේ "කොක්‌, කොක්‌, කොක්‌" හඬ සියක්‌ වර වරද්දමින්, ඒ අතින් මේ අතින් පඳුරු යටින් උඩින් අස්‌සෙන් කුකුළා ගමුව දෙසට ඉක්‌මන් ගමන් ගත් හ.

(c) Shilpa Sayura Foundation 2006-2017