උත්ස්වේදනය
 

ශාක මුල් මගින් උරාගන්නා ජලය පත‍්‍රය කරාගෙන යාමට උත්ස්වේදනය ද උපකාරි වෙතැයි සැලකේ.

ශාකපත‍්‍රවලින් පිටවන ජල ප‍්‍රමාණය ශාක උරාගත් ජලයෙන් 98% කට ආසන්න බව සොයාගෙන ඇත. සිදුරු, පූටීකා, සෛල බිත්ති හා මේරීමෙන් තොර ශාක පෘෂ්ඨ මගින් ශාකයක ඇති ජලය වාෂ්ප වී පිටවීම උත්ස්වේදනය ලෙස නම් කෙරේ. පත‍්‍ර වලින් උත්ස්වේදනය වැඩිපුර සිදුවෙතත් ශාකයක ඕනෑම කොටසක් උත්ස්වේදනය සිදුවිය හැකිබව සොයාගෙන ඇත.

උත්ස්වේදන සංගුණකය ලෙස හඳුන්වනුයේ ශාකයට වියළි පදාර්ථ ඒකකයක් නිෂ්පාදනය වනවිට උත්ස්වේදනය වන ජල ප‍්‍රමාණයයි.

උෂ්ණත්වය මෙන්ම සුළගේ වේගය වැඩිනම් එය උත්ස්වේදනයට ආධාර කරයි. ආලෝකය ද, උෂ්ණත්වය වැඩිකරන නිසා අනියම් ලෙස උත්ස්වේදනය වැඩිකිරීමට ආධාර වේ. අඩු සාලේක්ෂ ආර්ද්‍රතාවය මෙන්ම පත‍්‍රයේ අධික පෘෂ්ඨීය කේෂ්ත‍්‍රඵලය ද උත්ස්වේදනය වැඩිකරයි.

ශාක මුල් වලින් උරාගන්නා ජලය පත‍්‍රකරා ගමන් කිරිමෙන් පසු පත‍්‍රවල අභයන්තර සෛල එකින් එක සංතෘප්ත වේ. මේ අතර පූටීකා මගින් උරාගැනෙන වියලි වාතය අභ්‍යන්තර සෛලීය අවකාශ හරහා විසරණය වෙයි. එවිට ජලය සෛල බිත්ති ඔස්සේ අන්තර් සෛලීය අවකාශ හරහා වාතයට එකතුවීමෙන් වාතය ද ජල වාෂ්ප වලින් සන්තෘප්ත වේ. එම ජලවාෂ්ප සහිත වාතය ද පූටිකා තුලින් පිට වේ. එය පූටිකා උත්ස්වේදනය නම් වේ.සමහර විට ශාකයේ උච්චර්මයෙන්ද ජල වාෂ්ප පිටවේ. එය උච්චර්ම උත්ස්වේදනය නම් වේ.

උත්ස්වේදනය මගින් ජලය පිටවීම තව තවත් ජලය ඇතුළු කර ගැනීමට ශාකයට ආධාර කරයි. මෙලෙස පත‍්‍රයේ සෛලයන්ට ශෛලම වාහිනි තුලින් ජලය උරාගැනීමට ආධාර කරන බලය උත්ස්වේදනය වූෂණය ලෙස හැඳින්වේ. එය මගින් පත‍්‍රවල සිට මුල් දක්වා ජල ප‍්‍රමාණයක් ඇති කරයි. එම ජල ප‍්‍රවාහය උත්ස්වේදනය ප‍්‍රවාහය ලෙස නම් කෙරේ.


උත්ස්වේදනය මගින් ජලවාෂ්ප පිටවීම පරික්ෂා කිරීමට පොලිතින් බෑගයක් හා රබර් පටියක් යොදාගත හැකිය.

ශාකයක ඇති පත‍්‍ර සහිත අත්තක් පොලිතින් බෑගය තුළට ඇතුළු කර රබර් පටියක් ගැට ගසන්න.

ටික වේලාවකට පසු එම බෑගය තුල ජලබිංදු තැන්පත් වන බව පරික්ෂා කිරිමෙන් පෙනි යනවා ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017