ඒ ගුරු දිනෙකි. උදය හිරුගේ හෝරාව පැමිණෙන විට කුකුළා ගමුව අසල වනයෙහි උත්සව භුමිය සිවලුන් ගෙන් ද කුකුලන් ගෙන් ද පිරී ගියේ ය. නා නා වර්ණ කුසුමයන් ගෙන් හාත් පස අතිශයින් අලංකාර වූයේය. මනාල පක්‍ෂයෙන් ආ තුර්ය ගණය රමණීය වූ වාදනයෙන් මඟුල් පිරිස කුල්මත් කළ හ.
තැනෙක නෙත් කලු ගී නැටුම් නටන්නො ය. තැනෙක කන් කලු ගී කියන්නෝ ය. තැනෙක නාසා කලු සුවද ඉසින්නෝ ය. තැනෙක දිව් කලු මෝදකයන් පානීයයන් පිළියෙළ කරන්නෝ ය. තැනෙක ගත් කලු පවන් සලන්නෝ ය. මේ සියල්ලෙන් ඒ භුමිය සියල්ලන් ට සිත් කලු වී ය.
මැදිදෙහි තැනට සුදුසු සේ සදන ලද පුවරුව වූයේ ය. ඉන් එක් පසෙක මනාලිය මවුපියන් ද ඇවැස්‌ස නෑයන් ද සමඟ උන්නී ය. ඇය ගේ ඇස් බිමට හැරැවුණේ ය. හිස කිසි සේත් නොඉස්‌සෙයි. ආ විගස ම වරක් අඩ බැල්මක් මනාලයා දෙසට හෙළු$ නමුත් ඒ එ පමණින් ම නැවැතිණ. නෑදෑයෝ ඔවුනොවුන් සමඟ පිය බස් දොඩමින්, මනමාල පක්‍ෂයේ අය දෙස ද වරින් වර ඇස් හෙළමින්, නැකැත් වේලාව එනු බලමින් උන් හ.
පුවරුවේ අනෙක් පස මනමාලයා සිය නෑයන් පිරිවරා ගෙන උන් හ. හේ වරක් හිස කෙළින් කොට ගෙන, රැවුල කරකවමින්, හාත්පස බලයි. වරක් අසල වූ යාළුවා සමඟ යම් කිසිවක් කියා මඳ කොට සිනා සෙයි. නොයෙක් වර මනාලිය දෙස ද ඇය ගේ නෑයන් දෙස ද බඩ ගිනි බැල්මක් හෙළා කට තෙත් කෙරෙයි, තලු මරයි, දිවින් තොල නහවයි. මේ අතින් නම් මනමාලයා ගේ ද ඔහුගේ නෑයන් ගේ ද, වැඩි වෙනසෙක් නැති.
සිකුරු හෝරාව පැමිණියේ ය. නැකැත් වේලාව ඉතා ආසන්නය. මෙහි දී මනමාලයාගේ මහලු නෑයන් දෙදෙනෙකු අතරේ මහත් විවාදයක් ඇති විය. විවාදය, "නැකැත් වේලාවට කුමක් කළ යුතු ද" යන්න ගැනයි. "පුවරුවට නැංවිය යුතු ය" යි එකෙක් කියයි. තැලි පළන්දා පිළි ඇන්දිය යුතුය යි අනෙකා කියයි. මේ දැනුමැත්තන් දෙදෙනා ගේ වාදය ඉතා දික් විය. ඉතා තද විය. නැකැත් වේලාව හොදට ම ළං විය.
"මේ කලින් ම තෝරා බේරා ආ යුතු නොවේ ද? වාද කරන්නට ආවේ මෙතැනට දැ" යි මහ මල්හාමි නො සතුටින් කියන්නට විය. අසල සිටි පොරකටු හාමි ඉදිරියට ඇවිත් විවාද කාරයනට එක් පසෙකට වී විවාදය කරන්නට කියා, පුවරුව ළඟ සිටි මහලු කිකිළිය ට කැමැත්තක් කරන්නට නියම කෙලේය. ඉක්‌බිති යුවල පුවරුවට නංවා තැළි පළන්දා පිළි අන්දන ලදී.
මහලු කුකුලෙක් ඉදිරියට අවුත් යුවති පති දෙදෙනා ගේ අත් දෙක ය. ගත්තේ "සුන්දරිය, මම ඔබ මගේ භාර්යාව කොට ගනිමි. මගේ යුතුකම් මම නො පිරිහෙළෙමි, සියලු දෙවියෝ අප රකිත්වා" යි පතියා කීයේ ය." සැමියාණෙ නි, ඔබ මගේ සැමියාණෝ ය. මගේ යුතු කම් මම නො පිරිහෙළෙමි.
සියලු දෙවියො අප රකිත්වා" යි යුවතිය කීවාය. මහලු කුකුලා ගත් දෑත නූලින් බැද අත පැන් වත් කොට, මඟුල් මන්ත්‍ර මතුරා, "සියලු දෙවියො සාක්‍ෂි වෙත් වා! මොහු දෙදෙන නියම පරිදි බැඳුණාහු ය" යි කියා "කුක්‌කු කු කු" යි ආශිර්වාද කොට නැවත්තේ ය. "හා පුරා" යනු හඬ සමඟ ම පොල් ගෙඩියකට දුන් කැති පහරෙක හඬෙක් ඇසිණ.
සම ව බිදුණු පොල් ගෙඩියේ දෙ බෑය එක්‌ව උඩු බලා සිටියේ ය. කවුරුත් කුල්මත් ව ජය නාද පැවැත් වූහ. මහ මල්හාමි කුකුළා ගමුවේ මහ කසල ගොඩ දෙකක් දුවට දෑවැද්දට දුන්නේ ය.
දැන් රස කැවිලි තටු ගත්තෝ ඒ මේ අත යෙති. මනමාලයා ගේ පක්‍ෂයේ අය කැවිල්ලට අත ගැසුවා පමණෙකි. "අපේ මඟුල් කෑම ඉදිරියට" යි යනු කොඳුරා කියමින් ඔහු ඔවුනොවුන් ගේ මුහුණ බලත්. මනමාලිය ගේ පක්‍ෂයේ අය බඩ පුරා සිත් පුරා කෑවෝ ය. පුවෝ ය. සමහර කුකුළෝ මනමාල පක්‍ෂයෙන් ගෙනා කැවිලි කත් වටකොට ගෙන, තමන් ගේ පුරුදු හපන් කම් දැක්‌වූහ.
මේ අතර තුර්ය ගණයට කෑමට බීමට වත් අවසරයක් නො වීය. එක් තාලයකට පසු තවත් තාලයෙක් එයි. බෙරෙහි සම් වීණායෙහි තත් නාලයෙහි ඉපි කළ පව් ගෙවුයේ එ දින ය. තුර්ය වාදනයෙහි මිහිර කෑමෙහි බීමෙහි මිහිරට එක් වූ සේ පෙනුණේ ය.
