කුකුළා හමුවේ පෙර මගුල
 

හිවලා වල කුමන මඟුල් ද? හරි කුකුළා ගමුවේ නොවේ ද? එදින කුකුළා ගමුව නුදුටු කෙනෙකුට සියල්ල වූ සැටියට විස්‌තර කැර දීම කිසි සේත් කළ නොහැකි. මනමාලිය ගේ පක්‍ෂය වඩා විසිතුරු ලෙස උත්සව පැවැත්වීම සිරිත හෙයින්, ඒ පුදුමයට කාරණයක්‌ නොවේ.

බිජු ලන කිකිළියෝ එදින උදය ම තමන් ගේ කටයුතු සම්පූර්ණ කළෝ ය. බිජු රකින කිකිළියෝ මඳක්‌ රකිති. මඳක්‌ එළියට අවුත් බලති. "මේ කුමන කරදරයක්‌ දැ" යි කොඳුරති. කුඩා පැටවුන් ඇති කිකිළියෝ කසල ගොඩක්‌ යන්තම් අවුස්‌සා පැටවුනට දී, මඟුලට සැරැසෙති. කුකුළු පැටවුන ද කෑම නොසලකා අදින්න්නන් පළඳින්නන් දෙස බලමින් වරක්‌ එ තැනට යෙති. වරක්‌ මෙතැනට එති.

කුකුළෝ පියාපත් හැකි තරම් දික්‌ කොට හොටින් ඇන, ඇඟ කිළි පොළා, පරණ පෙඳ හලා සැරැසෙත්. කිකිළියො කීප දෙනෙක්‌ මනමාලිය සැරැසූහ. කවර සැරැසීමෙක්‌ ද? ඇඬීම මුත් වෙන කිසිවක්‌ මනාලිය එ දින නො දනී. කඳුළින් ඇගේ ඇඟ නෑවුණේ ය. මඟුලට එන නෑයන් පෙනෙත් පෙනෙත් ඇඬීම වැඩි වෙයි. මහළු කිකිළියන් අවුත් අවවාද කරන්නට පටන් ගනී.

"කුමන ඇඬුමක්‌ ද, ළමයා? මේ බොහෝම ප්‍රීතියෙන් යා යුතු ගමනක්‌. තමා ගේ මවුපියන් ගෙන් සහෝදරයන්ගෙන් වෙන් වෙනු හැබැ යි. එහෙත් අලුත් නෑයකු ලැබෙනවා නොවෙ යැ? මවුපියන්ගේ ආදරය සියළු සහෝදරයනට බෙදී යනවා, ඒ ලැබෙන නෑයා ගේ ආදරය ඉතා හොඳ තමා. එහෙත් මේ වයසේ දී ලැබෙන නෑයා ගේ ආදරය සියල්ලට ම වඩා හොදයි. ඒ නිසා සතුටු වෙන්න. අඬන්නේ අවමඟුලකට නොවෙ යැ?"

තවත් මහළු කිකිළියක්‌ එයි. ඇය ගේ අවවාද ද මේ සැටිම ය. මනමාලිය ගේ කනින් නම් ඉතින් ගත යුත්තෙක්‌ නැත. ඇහෙන්නේ මේ අවවාද ම යි. සතර පස්‌ විට ඇසීමෙන් ඒ දැන් තිත්ත ය. කනට උල් වැනි ය. දැන් දැන් මනමාලිය ගේ ඇඬීම වෙන කිසිවකට නොව අවවාදයට ය යි සිතිය හැකිය. ඇයි? කවර දෙයක්‌ වුවත් සුදුසු තන්හි සුදුසු කාලයෙහි පමණට විය යුතු යි. මේ එසේ ය? එන එන මැහැල්ල ඒ අවවාදය ම කෙරෙයි.

ඉතින් නාඩා කුමක්‌ කරන්නට ද? මධ්‍යම වයසේ කිකිළියක්‌ අවුත් මෙසේ අවවාද කළා ය. "ළමයා, ඔබ යන්නේ අමුතු ගෙදරකට යි. මවුපියන් ළඟ මෙ පමණ කල් කීකරු ව සිටීම ඔබට මහත් ප්‍රශංසාවට හේතුවෙකි. දැන් මවුපියන් ගෙන් වෙන් ව අමුතු ජීවිතයක්‌ පටන් ගන්නට යන බව හොදින් සිතට ගත යුතුයි.

ඇතැම් විට ඔබ මෙහි දී උගත් කටයුතු ඔබ ගේ සැමියාට නොරිසි විය හැකියි. එ විට ඔබ ගේ යුතුකම කිමෙක්‌ ද? ස්‌වාමියා ගේ පිළිවෙල ඉගෙන ගෙන එය ආගම මෙන් ඇදැහීම යි. මගේ මව කී සැටි ය, එයැ නොකැර ඉන්නේ කෙසේ ද? යන මේ ආදීන් කල්පනා කොට, සැමියා ගේ අදහස ලෙක නො පවතින්නට නම්, සැමියා සමඟ නොයා යුතු ය, ගෙදරමනැවැතිය යුතුය. මෙයට වෙනස්‌ ලෙස ඔබට අවවාද කරන්නෝ ඔබ ගේ සතුරෝ ය."

බොහෝ මැහැල්ලන් ගේ සිත මේ අවවාදයෙන් නො සතුටට පැමිණියේ ය. එහෙත් මනමාලිගේ ඇඩීම නැවැතුණේ ය. අමුතුයෙන් උගත යුත්තක්‌, පිළිපැදිය යුත්තක්‌, ඒ වචනයෙහි ඇති බව ඇයට පෙනී ගියේ ය. තමාට හොද දෙය මවුපියන්ගෙන් ආවත් කිම? පිළිගත යුත්ත පිළිගත යුතුම ය. මේ නැන්දා කී වචනය ඉතා යහපත් බව පෙනේ. පවුලේ සමාදානය ස්‌ථීර වෙන්නට නම්, ජීවිතය කරදරයක්‌ නොකැර ගන්නට නම්, එය පිළිපැදිය යුතු සේ පෙනේ.

මෙසේ සිතීමෙන් මනමාලිය ගේ සිත වෙන දෙයකට නො ඇඳුණේ ය. ළය නිවුණේ ය. කඳුළු නැවැතුණේ ය. හැඬීම වැළැකුණේ ය. මනමාලිය ද නෑදෑයන් ද සැරැසුණු කල ගමන ආරම්භ විය. කවර ගමනෙක්‌ ද? උත්සවය කුකුළා ගටමුවේ දී නො වැ අසල කැලෑව මැද්දෙහි දී පැවැත්විය යුතු ය යි දෙපක්‍ෂයම විසින් කලින් තීරණය කැර ගන්නා ලදී.

මෙය ඉතාම අලුත් සිරිත බව මනමාලිය ගේ පක්‍ෂයේ අය ද, "පැරණි පිළිවෙලේ අය ය යි කියති යි භයින් ඊට එකඟ වූහ. එ හෙයින් ඉතා කුඩා කුකුළු පැටවුන් ද උන් බලා ගන්නා කිකිළියන් ද හැර ඉතිරි සියල්ලෝ ම සැරැසී නියම තැනට ගමන් ගත්තෝ ය.

(c) Shilpa Sayura Foundation 2006-2017