එදා හිවලා වල කලබල සහිතය. කෑමක් බීමක් ගැන සිතන්නෙක් නොවී ය. "බලාගෙනයි ඉක්‌මන් වෙන්නට එපා ය" යි තරුණ හිවලුන් ට වැඩිහිටියෝ අවවාද කෙරෙති. "කවුරු දනිත් ද කිමෙක් වේ ද?" යි කියමින් ඇතැමෙක් සිතේ සැකය පහළ කෙරෙති. "ඔව්, ඔව් තව ම ලැබුණා යැ? කොයි සැටි වුණත් හිත පහත් කොට ගැනීම යි හොඳ" යනුවෙන් ඇතැමෙක් මතය අනුමත කෙරෙති.
ඇතැම් තරුණ හිවලුන් සන්සුන් බව නො දත් හ. "මට හොඳ තර දෙන්නෙක්" යයි එකෙක් කිය යි. "වෙන දා මෙන් මගේ දේ උදුරා ගන්නට නො එනු" යි මඳක් දුබල වූවෙක් පවස යි. "අද ඔබ ගේ දේ අපට ඕනැ නෑ" යි අනෙකෙක් දුබලයා සනසයි. සියල්ලෝම සිනා සෙති. තලු ගසති. තොල ලොවිති. කෑම කෙළවර නම් පැන් බොනු යි එකෙක් විහිළු කෙරෙයි.
නුවණ හාමි ගේ මුහුණ එදා ප්‍රීතියෙන් පිපුණේ ය. දෑස බැබළුණේ ය. විහිළු හාමි කපටි හාමි ආදි වැඩි සිටි කිහිප දෙනෙක් ද එහි වූහ. නුවණ හාමි විහිළු හාමි දෙස හරක් බැල්මක් හෙළී ය. මෙසේ ද කීය.
"ඔබ අද මගුල් කෑම කනවා යැ?"
"ඇයි නැත්තේ" ය යි විහිළු හාමි පුදුම වූවකු මෙන් ඇසී ය.
"කනවා නම් එදා මට විහිළු කෙලේ?"
"ඉඳ හිටලා විහිළුවකුත් නැත්නම් කවර අගයෙක ද?"
මෙහිදී කපට හාමි ද දෙඩුමට වැටුණේ ය.
"හා, හා. හා! ටිකක් බලා ගෙනයි. ගොවි හාමිත් එහි, බලු හාමිත් එහි, පුතාට ගිය කල මතක නැද් ද?"
නුවණ හාමි ඇස ඔරවා දෙඩීය. "පුතාට ගිය කල ඒ එදා. අද අපට එවැනි කලක් ගියොත් මගේ නමේ මුලට අකුරක් එකතු කරන්නට කීවා නොවේ යැ"
"එ බදු කලක් ගියාට පසු අකුර එකතු කළායින් ඇති පලය කිම?"
"අනේ කපට හාමි කුකුළා ගමුවටත් කීප වරක් ම ගොසිනුත් අපට කළ සැලකිලිත් දැක, තවමත් මේ තරම් සැක ද? සැක නම් මෙහි නවතින්න, අප යනවා."
"නෑ, උදහස් වෙන්නට මා කීවා නොවේ යි. කුමක් වුවත් පරෙස්‌සම් වීම ඔබගේ නමට හොබී."
කපට හාමිගෙන් ඒ දෙඩුම කෙළවර විය. කවුරුත් ගමනට සැරසෙන්නට වූහ. මනමාලයා ගේ සැරැසිල්ලට බොහෝ වේලා ගත විය. ඔහුට කීප දෙනෙක් උපකාර කළ හ. හේ මනා ලෙස සැරැසී අසල වූ ගල් කෙමට ගොස් දියෙහි තමා ගේ පිළිඹුව බලා, හිස කෙළින් කොට ගෙන, සෙසු තරුණ සිවලුන් අතරෙහි ඔබ මොබ යන්නට විය. මනමාලයා දෙස බැලූ ඇතැමෙක් කරබා ගත් හ. ඇතැමෙක් ඉඟි මරා, යටි තොල දික් කොට, අසල සිටියවුන් දෙස බැලූ හ. ඇතැමෙක් ඔවුනොවුන් හා රහස් කියන්නට වූහ.
"දැන් හරියට ම මනමාලයා වගෙයි" යනු එකෙකු ගේ මුවින් පිට ය. "නැත්නම්" යයි කියමින් මනමාලයා ඒ දෙසට හැරී සිනාසුණේ ය. "මනමාලියත් කැන්ඳා ගෙන අද එන කළ දෑසින් දෑසින් කෙසේ බලන්නට දැ" යි එකෙක් ඇද ඇද කී ය. මීට කවුරුත් සිනාසුණෝ ය. "හැබෑවට ම මනමාලිය කටින් ද ගෙන එන්නේ" ය යි එකකු ඇසූ කල, මනමාලයා උදහස් වුණේ ය. නෑ "අපි මනමාලයා කුකුළා ගමුවේ නවත්වා එමු" යි එකෙකු කී බසට මනමාලයා ගැස්‌සී ගියේ ය. "බලාගෙනයි වැඩි විහිළු හොඳ නෑ" යයි අසලින් ගිය නුවණ හාමි කී බසින් තරුණ පෙළ විසිර ගියෝ ය.
ගමන ආරම්භ විය. පණුවන් කඳක් ද කැරපොත්තන් කඳක් ද පළමු කොට පිටත් විය. බෙර වයන නලා පිඹින නටන පිරිසෙක් ඒ ළඟට නික්‌මුණ හ. වීණා වයන සිංදු කියන කීප දෙනෙක් තුන් වැනි ව ගිය හ. ඉක්‌බිති පැම්ණියේ මනමාලයා ය. පෙළ ගැසුණු ඔහු ගේ නෑදෑ පිරිස ඔහු පස්‌සෙන් වැටුණ හ. ඉතා මහළු වූවන් ද කුඩා දරුවන් ද හැර ඉතිරි සිවලුන් ගෙන් එදා සිවලා වල නැවැතුණු එකෙකුත් නැත.
