කැමැත්ත
 

නියම දින හීන් හාමි නෑයන් කීප දෙනකු සමඟ මහ මල් හාමි ගේ නිවෙසට පැමිණියේ ය. ගෙහිමියෝ ආදරයෙන් අමුත්තන් පිළිගත්හ. වේලාවට සුදුසු සංග්‍රහ විඳ අමුත්තන් හුන් කල්හි කපට හාමි මල් හාමිගේ කනට කොඳුරා යම් කිසිවක්‌ කීවේය. මහ මල් හාමි හිස සලා ගෙට ගොස්‌ හාමිනේ ට යම් කිසිවක්‌ කියා අවුත් හිඳ ගත්තේය. සියල්ලෝ ම නිශ්ශබ්ද වූහ.

මඳ වේලාවකට පසු මහ මල් හාමිගේ දුව පොඩි හාමිනේ දුවත් සමඟ පෙණුනා ය. ඈ ආවා නොවේ. මව ගේ උත්සහායෙන් දුව එවුණා ය. අමුත්තන්ට පෙනෙන්නට වූ කල පොඩි හාමිනේ දැස නො දල්වා මුහුණ බිමට හරවා ගෙන යන්තම් ඉදිරියට ආවාය. මව අමුත්තන් හදුන්වා දුන්නීය. දුව ඒ එක එක අමුත්තාට ආචාර දක්‌වා මවගේ නියමය පරිදි පසෙකින් හිඳ ගත්තා ය. "අපටත් මුලදී ලජ්ජා තමා" යි, විහිළු හාමි කීයේ ය. එයින් මහ හිනාවක්‌ ඇති විය. පොඩි හාමිනේ ද හිනා එන බව හඟවන්නට උත්සහ කළාය.

මඳ වේලාවකට පසු "අපට කටයුතු බොහෝම යි" යනු කියමින් මහ මල් හාමිනේ නැගී සිටියා ය. දුව නැගී මව පසු කොට මුවාවකට වන්නීය. අමුත්තෝ ද නැගී මදක්‌ ඈතට ගොස්‌ රහස්‌ කියන්නට වූහ. මහ මල්හාමි නෑයන් සමඟ ඉදිරියට තුබුණු කටයුතු සම්පූර්ණ කිරීමෙහි යෙදුණේ ය.

"යස කෙඳිරියක්‌ නොවේ යැ? කුමක්‌ වුණා ද, ළමයා?" මෙසේ මව නොයෙක්‌ විට කී නමුත් පොඩි හාමිනේ ගේ කෙඳිරිය නො නැවතුණේ ය. "මට බය යි. අම්මේ. අනේ, අම්මේ මට බැහැ" යි ඕ කීවා ය.

"කුමකට ද, ළමයා බය?
"බය! අර ඇස්‌ රළුව දැක්‌කාම, අර කටේ දිග දැක්‌කාම, අර දතේ උල දැක්‌කාම, අම්මා ගේ හිතෙත් බය නැද් ද?"
"බොරු නො දොඩා නිකම් ඉන්න ළමයා. මට ඇති බයෙක්‌ නෑ. හොඳ ළමයින් මවුපියන් ගේ කීමට කීකරු වෙනවා."

ඒ කුමක්‌ කීවත් පොඩි හාමිනේ ගේ කෙඳිරිය නො නවතී මහ මල් හාමි ද පැමිණ දුවට අවවාද කරන්නට වූයේ ය. "නුපුරුදු කෙනෙකුට බය සිතීම ගෑනු ගතිය තමා, අපි ඔබට අහිතක්‌ කරමු ද? මේ සම්බන්ධයෙන් අප සියල්ලන්ම හට වෙන්නේ යහපතෙකි. ඔබ උපන් කාලයේ ම අපට දැනුණා, මේ කුකුළා ගමුවේ කිසිවකුට නොගිය තරම් හොඳ කලක්‌ ඔබට යන බව. හැබැයි සැප ලැබුණාම සැමියා නිසා ආඩම්බර වී අප අමතක කරන්න එපා."

පියා ගේ වචනයෙන් පොඩි හාමිනේ ගේ සිත මදක්‌ පිපුණේ ය. එහෙත් ඇයට පෙනෙන්නේ අර ඇස්‌ම ය. අර කටම ය. අර දතම ය. එ හෙයින් කෙඳිරිය සම්පූර්ණයෙන් සුව නොවී ය. නැන්දා ද අවුත් අවවාද කළා ය. මාමා අවුත් විහිළු කළේ ය. "මේ හොට මෑට රැවටුණා ද? මෑ මීට හොදටම කැමතියි. හොරට අකමැති බවක්‌ පෙන්වනවා. ඉතින් බොරුවට නො රැවටී අපේ කටයුතු කරමු." මෙයින් එතන ඇති වූ බොහෝ අමාරු කම් නැති වී ගියේ ය. සියල්ලන්ගේ කරදරයෙන් මෙන් "ඔව්" යන්නෙක්‌ ද,"කැමති ද, කැමති ද" යන ප්‍රශ්ණයට උත්තර වශයෙන් පොඩි හාමිනේ ගේ කටින් නිකුත් විය.

දෙපක්‍ෂයේ ම අය නැවතත් එක්‌ තැන් වූ හ. අපේ ළමයා නම් කැමතියි යනුවෙන් විහිළු හාමි දෙඩුම පටන් ගත්තේ ය. "අපේ ළමයා අකමැති වේ දැ" යි මහ මල්හාමි කියා හිස ඔසවා බැලීය. සියල්ලෝ ම ප්‍රීතිය ප්‍රකාශ කළෝ ය. විහිළු හාමි නැගී සිට ප්‍රස්‌තාවයට සුදුසු දේශනාවක්‌ කළේ ය. ඉක්‌බිති භෝජන සංග්‍රහය වීය.
නැවත ද වරක්‌ පොඩි හාමිනේ අමුත්තන් ඉදිරියට ආවාය. හීන් හාමි නැගී සිට තමාගේ අතෙහි වූ මල් දමක්‌ පොඩි හාමිනේ ගේ ගෙල වටා දැමී ය.

කැරපොත්තන් පොදියක්‌ ද දුන්නේ ය. පොඩි හාමිනේ ද මවගේ නියමය පරිදි කුකුළු පියාපතක්‌ හීන් හාමිගේ වලගෙහි පැලැන්දුවා ය. ඉක්‌බිති අමුත්තෝ මහ මල්හාමි ආදි පිරිසට ආචාර දක්‌වා, අවසර ගෙන නික්‌මුණා ය.

(c) Shilpa Sayura Foundation 2006-2017