හිවලුන් ගේ ද කුකුළන් ගේ ද මිත්‍ර ධර්මය ක්‍රමයෙන් වැඩුණේ ය. කුකුළු ගෙදර හිවල්ලු ද හිවල් ගෙදර කුකුළෝ ද නිතර දක්‌නට ලැබෙයි. හිවල් කුකුළු යාළු කම ගුරු කමට ගන්නට තරම් ස්‌ථීර වන්නා සේ පෙනී ගියේ ය. ඒ කෙසේ වුව ද, ගොවි හාමි හෝ බලු හාමි හො මේ කිසිවක් නොදනී.
දිනක් කපට හාමි තෑගි බෝග ද ගෙන කුකුළා ගමුවේ මහ මල් හාමි දකින්නට ගියේ ය. ඔහු කුකුළා ගමුවට යෑම අරුමයක් නුවූ නමුත් එදා නම් ඔහු ගේ ගති මදක් අමුතු ය. දුටු දුටු අයට හේ එදා හිස පහත් කෙරෙයි, ආදරය හඟවන වචනයක් කියයි. නිකම් ම සිනා මුහුණ දක්‌වයි. යමක් කියන කල අදී, පදී. යම් කිසිවක් කියන්නට ඉතිරි වූ බව හඟවයි. මහ මල්හාමි ට ඒ බව හොදට දැනෙයි. වෙන දෙඩුම් කුමට ද? කපට හාමිට මත් ඒ බව හැඟීමෙන් නම් අඩුවක් නැත.
මහ මල් හාමි මේ රහස අවුස්‌සා බලන්නට සිතුවේ ය. "මන්ද මේ ඇ වචනය ට වචනය කෙළින් ම නොකියා, ටිකක් ඉතිරි වුණා වාගේ දොඩන්නේ" යි හේ කපට හාමි ගේ මුහුණ බලා ඇසීය. "නෑ රාළහාමි - මහ මල් හාමිට කවීරුත් රාළහාමි යි කියති- ම@ ගේ හිතේ කිසි කහටක් නෑ. මා අද ආවේ නම් හොඳ කාරණයකට යි. එය කියන්නට අවසරයක් නැති ව හිටියා" යි කපට හාමි හොඳට ම නළවා කීය.
"ඒ කාරණය කියන්න, කියන්න, අප අතරේ වෙනසක් ඇතැ යි"
කපට හාමි ඒ මේ අත ඇඹැරෙන්නට වූයේ ය.
"නෑ, නෑ, සැකක් හිතන්නට එපා කියන්න, කියන්න" යි මහ මල් හාමි නැවැත නැවැතත් කපට හාමි ගේ කටට පණ පෙවුවේ ය.
කපට හාමි අදිම්න් පදිමින් ම තමන් ආ කාරණය කියන්නට පටන් ගත්තේ ය. "අපේ රාළහාමි ගේ පුතා දන්නවා නොවේ යැ."
"ඔව්, ඔව්, අර හීන් හාමි" යි මහ මල් හාමි උත්තර දුන්නේ ය. හීන් හාමි නම් නුවණ හාමි ගේ පුතා ය.
කපට හාමි යළිත් දොඩන්නට වන්නේ ය. "ඉතින් ඒ ළමයාට දැන් හොඳ වයස සරණක් කැර දෙන්නට මේ රාළහාමි සමඟ දොඩන්නට යි ආවේ."
"බොහෝ ම හොඳා. අපිත් පුළුවන් යමක් කරන්නෙමු මේ ගමින් ඉතින් පුළුවනැ? මෙහි නැති වැ නොවැ ඒ ජාතියේ අය?"
මහ මල්හාමි මෙසේ කී කළ, "කුමන ජාති ද, රාළහාමි" යි කියමින් කපට හාමි හිස කසන්නට වන්නේ ය.
මහ මල්හාමි මදක් සිතිවිල්ලේ සිට "ඉතින් අපට කුමක් ද, කරන්නට කියන්නේ" යි ඇසීය.
"කරන්නට කියන්නේ? ඇයි රාළ හාමි ගේ ළමයා පොඩි හාමිනේ අපේ රාළ හාමිගේ ළමයාට දෙනවා නරක ද?"
මෙබදු වචනයක් කියති යි කිසි කළෙක නො සිතු මහ මල්හාමි ට මේ ඉතා අමාරු තැනෙක් වීය. හේ හිස පහත් කොට ගෙන ඇස් අඩක් වසා ගත්තේය. කපට හාමි හොර ඇසින් බලමින් ඔහු ගේ සිතිවිලි මැනගත්තේ ය. "මන්ද රාළහාමි තරහ වුණා වගේ ඉන්නේ" යි ද ඇසීය.
"නෑ මා තරහ වුණ නො වෙයි. මා මේ කල්පනා කළේ අප දෙගොල්ල කොපමණ යාළු වුණත් ඉහත දී සතුරු ව සිටි බව, මේ නො පෑහෙන තැනට පෑහීමක් නොවේ ද?"
කපට හාමි සිනාසුණේ ය. "බලන්න ඉතින් රාළහාමි වැනි අයත් මෙසේ කල්පනා කරන කල කුමක් කිය හැකි ද?"
"කො පමණවත් වෙනවා. එහෙත් අපේ එ පමණ යැ? අපේ ජාති දෙක හොදට ම වෙනස් නොවේ යැ?"
"මා හිතුවේ රාළහාමි මීට වඩා අළුත් පිළිවෙලේ කටයුතු ගැන දන්නවා ය කියා.
වෙනස් වෙනස් ජාති වලින් හිර ගනු දෙනුව නො වේ ද හොඳ ය කියන්නේ? එයින් ඇතිවන දරුවන් ගේ නුවණ වැඩි ලු. ශරීර ශක්‌තිය වැඩිලු. ඇයි, රාළහාමි අසා නැද්ද?"
කපට හාමි දක්‌වන කරුණු බිඳින්නට මහ මල්හාමි අසමර්ථ ය. එ හෙයින් ඒ බව වසන්නට මහ හිනාවක් කොට මෙසේ කීය. "මා දන්නවා. එසේ වුවත් කල්පනා නොකැර හොඳ නැති නිසා මා මේ කීවේ හොඳා අපි හාමිනේගෙනුත් අසා බලමු."
මහ මල්හාමිනේ ට මේමඟුල් යෝජනාව කී කල. යන අත බලාගත නොහැකිව සැමියා ගේ මුහුණ බැලුවා ය. "කුමට ද මා දිහා බලන්නේ? අප දොඩා ගෙන ඉවරයි. ඔබ ගේ අදහසයි දැන් උවමනා" යි හේ කීය.
මහ මල් හාමිනේ ඊට සිනාසුණා ය. "එසේ නම් අනේ අපෙන් කුමක් අසන්නට ද? හොද කටයුත්තකට තමා අපෙත් කැමැත්ත. හොඳ හැටියැක් කරන්නැ" යි කීවාය.
"හා ඉතින් හාමිනේ කැමති නම් තවත් බලන්නට දෙයක් ඇද් දැ" යි කියා කපට හාමි ඔඩොක්‌කුවෙන් කොළ කැබැල්ලක් ඇදගත්තේ ය. "මා දන්නවා මෙය නො වරදින බව. ඒ නිසා අර ළමයා ගේ හඳහනත් ඉල්ලා ගෙන ආවා. කෝ දෙන්න පොඩි හාමිනේ ගේ හඳහනත්" මහ මල්හාමිනේ දුවගේ හඳහන ද ගෙනැවිත් දුන්නාය.
කපට හාමි හඳහන් බලා එතරම් ගැළපෙන හඳහන් දෙකක් කිසි කළෙක නොදුටු බව කියා එය මහ මල් හාමි ගේ අතට දුන්නේ ය. මහ මල් හාමි හඳහන් බැලීමක් නොදත් නමුත් කපට හාමි ගේ කීම හරි බව කීයේ ය.
"බලන්න, රාළහාමි, අප දෙගොල්ලන් ට ළං වෙන්නට කෙනෙකු නැතිව යනවා. මේ හඳහන් දෙකේ හැටියට මේ ළමයි දෙන්නා බොහෝම උසස් වේවි. අප දෙගොල්ල ගැන රටේ කියන කතා අනෙක් අතට හැරේවි. ඉතින් අපට වුවමනා මේ බැදෙන දෙදෙනා ගේ කැමැත්ත බැලීමය." මෙසේ කියා කපට හාමි ඒ දෙදෙනා මුණ ගස්‌සන්නට දිනයක් නියම කැර ගෙන නැගී ගියේ ය.
