දැන් පොර බිම කුකුළන් ගෙන් පිරුණේ වෙයි. ඒ අතරෙහි වූ සිවලුන් අට දෙනා ගෙන් ඒ පුදුම උපදවන තැනෙක් විය. පොරය පටන් ගන්නට මඳක් කලින් එ තැන නායක කම සෙස්‌සවුන් ගේ කැමැත්ත ඇති ව මහ මල් හාමි විසින් නුවණ හාමිට පවරන ලදී.
නුවණ හාමි ඉදිරියට අවුත් පොර මඬුල්ල මැදි කොට වටා ඉරක් ඇන්දේ ය. ඉක්‌බිති මල්ලයනට සැරසෙන්නට කියා වේලාව එනතුරු මඳක් සන්සුන් ව සිටියේ ය. වටා සිටි මහ පිරිස් හිස් ඔසවා කර දික් කොට ගෙන බලා හුන් හ. ඒ නිසා මහත් පිරිසින් දැන් මඳ ශබ්දයකුත් නො නැගෙයි. සැණෙකින් "එක යි, දෙක යි, තුන යි, වඳිනු" යනු ඇසිණ. එ තැන් සිට පොර මඬුල්ල ඇත්තෙන් ම පොර මඩුල්ලෙකි.
පළමු කොට වීරයො දෙදෙන හොර ගල් අවුළන්නට පටන් ගත් හ. දෙකක් තුනක් ඇවිළුනු පසු එක එකා මහත් ජය නාදයක් කෙරෙ යි. යළිත් අවුළන්නට පටන් හගී. මෙසේ කීප වරක් කළ ඉක්‌බිති දෙදෙන එක් වර ඉදිරියට අවුත් හොටින් හොට ගසා ඉක්‌බිති ඔවුනොවුන් මුහුණ බලා සිටිය හ. මේ ඔහුට පහර දෙන්නට කුරුමාණම් බලයි. මේ ඔහුගේ පහරට මඟ හරියි. මෙසේ මේ දෙදෙන සරි සරි ව සිටින කල් හි මහ පිරිස හඬක් නො නඟා ඇසි පිය නො හෙළා බලා සිටිති.
බොහෝ වේලා ගත වූ හෙයින් දැන් දෙදෙනා ගේ ම ඉවසිලි නැති වී ය යි. එ හෙයින් දෙ දෙනම කෙසේ නමුත් පහර දෙන්නට බැලූහ. පහරින් ගැලවීමට වඩා පහර දෙන්නට ම බැලීමෙන් දෙ දෙනාට ම පහර හත අට වැඳුණේ ය. දෙදෙන ඔවුන් ගේ කරමල හොටින් අල්ලා ගෙන ඒ මේ අත අඳින්නට වූහ. දෙදෙනා ගේ ම කරමලින් ලේ ගලන්නට විය.
එහෙත් එකෙකු දූ පසු නො බෑය. ඉක්‌බිති උල් හොට හාමි පසු බසුනා බවක් හැඟැවී ය. පොර කටු හාමි ගේ පක්‌ෂයේ අය ප්‍රීති නාද පවත්වන්නට වූහ. පොරකටු හාමි ද "ප්‍රතිමල්ලයා දුර්වල වූ හ" යි සිතා තව තවත් වැරින් පහර දෙමින් ඉදිරියට ගියේය. උල් හොට හාමි මඳින් මඳ පසු බැස ගොස් හොඳට එල්ල බලා දුන් පහරට පොට කටු හාමි ඈත ගොස් වැටුණේ ය.
මෙවර උල් හොට හාමි ගේ පක්‍ෂයෙන් නැගුණු ජය නාදය කන් බිහිරි කරන තරම් ය. එහෙත් ඒ මොහොතකට පමණෙකි. තමා රැවටුනු බව දැනගත් පොරකටු හාමි විදුලියක් මෙන් ඉදිරියට පැන්නේ ය.
නැවැත ද දෙදෙන හොරගල් අවුළන්නට වූහ. නැවැත ද පහර දෙන්නට වූහ. නැවත ද කරමලින් අල්ලා ඒ මේ අත අඳින්නට වූහ. මුළු පොර මඩුල්ල ම ඒ දෙදෙනා ගේ කුඩා මහත් පෙඳින් වැසී ගියේ ය. දෙදෙනා ගේ ම ශරීරය ලෙයින් තෙත් වී ය. හිර මුඳුනට එන්ට ද දැන් ළඟ ය. එක් එක් පක්‍ෂයේ අය තම තමන් ගේ වීරයාට ධෛර්ය උපදවන වචන කී හ. කුමක් කීවත් කුමක් කළත්, එක් පක්‍ෂයකට වත් ජය නම් ළං නුවූයේ ම ය.
පිරිසෙහි දැන් කිසි ඉවැසිල්ලක් නැත. එකකු හුවා අනෙකා හෙළා දෙඩීමෙන් කිසිවෙක් නො කෙරෙයි. "දෙදෙනා ම හපන්නු. කරට කර, බරට බර, පොරට පොර, පොර බඳතොත් මේ වාගේ අය තමා. තවත් කුමකට පොර බඳන වා ද? අදත් බදා හෙටත් බැදුවත් අවුරුද්දක් බැදූවත් මෙ පමණ තමා. දිනුම් පැරදුම් නෑ" මෙසේ නො කී කුකුළෙක් කිකිළියෙක් නැත. අන්තිමයේ දී නායකයාට ද මෙසේ නො කියා බැරි වී ය.
සියල්ලන් ගේ ප්‍රීති නාද මධ්‍යයෙහි නායකයා පොරය නැවැත්වී ය. දෙදෙනා ම නියම වීරයන් බවත් එ බඳු පොරයක් මේ මුත් නුදුටු බවත් කියා හේ මල්ලයන් දෙදෙනා ට බොහෝ ප්‍රශංසා කෙළේ ය. සියල්ලෝ ම ඔවුනට ආදරය කළය. ගෞරවය දැක්‌වූ හ. ඉක්‌බිති පොර බිම හිස් විය. අමුත්තෝ කළ සත්කාර විඳ, මහ මල් හාමි ආදින් ගෙන් අවසර ලැබ, ගෙදර බලා පිටත් වූය.
