ඒ ඉරිදා කුකුළා ගමුව කුනාටු දා මුහුද මෙන් විය. එක් තැනෙක පොරකටු හාමි පොරයට කලින් ම සැරසෙයි. ඔහු ගේ යාලුවෝ වට ව ගෙන ගුරුකම් දෙති. "උලහොට හමි එසේ මෙසේ මල්ලයෙක් නොවේ. මේ කුකුළා ගමුවේ සියළු දක්‌ෂ මල්ලයන් අතුරින් ඔහු හා සමඟ පොර නො බැඳුවේ ඔබ පමණයි.
බැඳූ බැඳූ අය ඔහු අතින් පහර කෑවෝ යැ. ඔහු හැර අන් සියල්ලෝ ම ඔබ අතිනුත් පහර කෑවෝ ය. ඔබ දෙදෙනා කරට කර හරි. ඔබ පැරදුනොත් අපටයි ලජ්ජාව. පහර දෙන්නෙ බලා ගෙන යි. පහර වළකන්නේ බලා ගෙන යි."
තවත් තැනෙක උල් හොට හාමි කලින් ම පොරයට සැරැසෙයි. ඔහුගේ යාළුවෝ ඔහුට ගුරුකම් දෙති. පහර දෙන සැටි, උගන්වති.
"පොරකටු හාමි අපේ නායකයා ගේ ම පුතා. කිසි කළෙක පැරදුනේ නෑ. ඔබ ඔහුගෙන් ජයගත හොත් ඔබටත් ඔබට හිත ඇති අපටත් එ තරම් ආඩම්බරයක් කොයින් ද? දිනන්නට ම හිතා යන්න." මේ ආදීන් උල්හොට හාමි ගේ ධෛර්ය වැඩීමට කී කරුණු අප්‍රමාණ ය.
මුළු කුකුළා ගමුව එදා දෙ පිලට බෙදුණාහු ය. තරුණ කුකුළෝ තම තමන් ගේ වීරයා ගේ නමට ඔට්‌ටු දමති. තරුණ කිකිළියෝ තම තමන් කැමති වීරයා ගේ බල වර්ණ නා කොට ඊට විරුද්ධ දේ කියන්නන් සමඟ කළහ කෙරෙති. කුකුළු පැටවු ද, "අපේ මහ පියාට, අපේ මාමාට, අපේ බෑයාට, ජය වෙයි" යන මේ ආදීන් කියමින් මහා කෝලාහල කෙරෙති.
මහ මල් හාමි ගේ සිහිය එදා දෙකට බෙදුණේ ය. වරක් සිය පුතාගේ මල්ල යුද්ධය සිහියට නැගේ වරක් එදා එන හිවල් මිතුරන් ට කළ යුතු සංග්‍රහ ගැන සිත නැමෙයි. හේ උත්සහායෙන් කලබල නොවී සිත දෙපළෙහි ම රඳවා ගෙන, කටයුතු කෙළේ ය. පුත්‍රයාට පමණක් නොව පුත්‍රයා ගේ ප්‍රතිමල්ලයාට ද මල් හාමි හොද අවවාද දුන්නේ ය.
"මේ එකකු අනෙකා හා වෛරයෙන් බදන පොරයක් නොවේ. අපගේ යුද්ධ දක්‌ෂ භාවය නො පිරිහී පවතින පිණිසත්, බාලයන් ගේ සිත් ඔසවනු පිණිසත්, විනෝදය පිණිසත් අපි පොර බදමු. මේ සියල්ල සම්පූර්ණ වනු පිණිස එක එකා තමා ගේ යුතුකම සියළු උත්සහායෙන් කළ යුතු ය. එහෙත් නො තරම් පහරක් ගසා හෝ බොරු කියා හෝ තමා ගේ නමට කිලුටක් නො කරන්නට බලා ගත යුතු ය."
හිරු උදා වී පස් පැයක් පමණ යන විට නුවණ හාමි, කපට හාමි, විහිළු හාමි ආදි වැඩි හිටි හිවල්ලු අට දෙනෙක් කුකුළා ගමුවට ආවෝය. එදා ගොවි හාමි බලු හාමි සමඟ සිරිත් ලෙස දඩයමට යන දිනයෙකි. එ හෙයින් ඔවුනට භයට කරුණෙක් නැත. මහ මල් හාමි අමුත්තන් පිළිගෙන වේලාවට සුදුසු සංග්‍රහ කෙළේ ය.
එදා ඔවුන් ගේ පැමිණීම කුකුළා ගමුවට මහත් ගෞරවයක් බව ද කීයේ ය. එබඳු උත්සව දිනයෙක දී පැමිණ බොහෝ කලෙකින් දක්‌නට නො ලැබෙන තරම් මල්ල යුධයක් බලා ඉන්නට ලැබීම ඔහුන් ගේ මහත් වාසනාවක් බව අමුත්තෝ කීහ. දෙ පක්‌ෂයේ ම ප්‍රීතිය ඉතා අගය කොට සැලකු හ.
පොරයට ඇත්තේ තව පැයකි. කවුරුත් පොර බිම දෙසට ඇදෙන්නට වූ හ. කුකුළු පැටවු පළමු කොට හොඳ හොඳ තැන් බලා හිඳ ගත් හ. ඉක්‌බිති තරුණ පෙළ ගොස් හුන්හ. කෙළවර වැඩි හිටියෝ එන්නට වන්හ. මහ මල් හාමි ද හිවල් මිතුරන් සමඟ ආයේ ය. වීරයන් දෙදෙනා යහළුවන් අතරෙහි සිනා සෙමින් කවට කම් කෙරෙමින් මල්ල යුධයක් ඇති බව නො දන්නන් මෙන් සිටිනු දක්‌නට ලැබිණ.
