කුකුළා ගමුවේ නායකයා මහ මලා නම් ය. ඔහුගේ කරමල ඉතා මහත් බැවින් ඒ නමැ වී ය. ඔහුගේ දරු මුණුබුරන් ගේ ගණන ඉතා මහති. කුකුළා ගමුවේ වැඩි දෙනා ඔවු නැයි ද කියති. මහ මල් හාමි දැන් මහලු බැවින් පොරට නොයයි. එහෙත් පොරයෙහි දී කිසිවකුට දෙ වෙන් නොවන්නා වූ පුත්තු කීප දෙනෙක් ඔහුට වෙති. දූ වරු ද බොහෝ දෙනෙක් වෙත්.
දිනක් මහ මල් හාමි නුවණ හාමිට දාවල් බතට ආරාධනා කළේ ය. "අප දැන් මස් කන්නෙත් නෑ" යි නුවණ හාමි කී ය. "හා අප කන්නේ මස් නොවෙයි. ඉඳ හිටලා මස් ලැබුණොත් නො කනවා ම නොවෙයි. එහෙත් අපට නිතර ලැබෙන්නේ මාලු යි." මහ මල් හාමි මෙසේ කී කලැ, නුවණ හාමි ආරාධනය පිළිගත්තේ ය. මහ මල් හාමිගේ කෑම නුවණ හාමිට බෙහෙත් වැනිය. ඒ බව නොහගවා මහත් ආශායෙන් කෑම කන්නාක් මෙන් දක්‌වා නුවණ හාමි එදා බඩගින්නේ සිටියේය. මල් හාමි ද දරු මුනුබුරෝ ද බඩ පුරා කා දොඩ දොඩා උන්නෝ ය.
"හැබෑටම අප දෙ ගොල්ල සතුරු ව උන් හැටි" යි මල් හාමි මුල් පිරුවේ ය.
"ඒක නොවේ නම්? කිසි වැඩකට ඇති සතුරු කමක් ය" යි නුවණ හාමි හවුල් විය. "ඉහත සිටි අය ගේ මෝඩ කම් නො වේයැ? හිවලෙකු දුටුවාම කුකුළාට දුවන්නට හිතෙනවා එක නම් ඇත්ත.
දැන් නැතත් මට ම එසේ සිතුනා. කුමට ද බොරු කියන්නේ? කුකුළකු දුටුවා ම හිවලාට ඌ කන්නට හිතෙනවාලු. ඒ හැබෑ ද?" "කුමන බොරු ද? එසේ නමී මට එසේ සිතෙන්නට එපා යැ. මා දැන් කෑ හැටි දුටුවා නොවේ යැ?" මහ මල් හාමි සිනා සුණේ ය. ඉතිරි සියල්ලෝ ද සිනා සුණේ යැ. "නුවණ හාමි වාගේ හිවලුන් දාහක් දුටුවත් මා නම් දුවන්නේ නැහැ." යි මහ මල් හාමිනේ කීවා යැ. ඒ කීමට නුවණ හාමි කොක් හඬ ලා සිනාසුණේ ය.
පසු දා දවල් බතට මහ මල් හාමි ට ආරාධනා කොට නුවණ හාමි නැගී ගියේ ය. කපට හාමි විහිළු හාමි ආදී කීප දෙනෙකුට තමා ගේ අදහස් කියා අමුත්තා පිළිගැනීමට සුදුසු කටයුතු ද පිළියෙල කළේ ය. "මේ අපේ ළමයින් කාරණය දන්නෙ නෑ. උන් දුටුවහොත් කුකුළු හාමිගේ පෙඳක් වත් ඉතිරි වෙන්නේ නෑ. උන් නොයන තැනෙක අපි කෑම දෙමු." මෙසේ කියා සිවල්ලු හිවලා වල කොනෙක මල්හාමි පිළිගැනීමට සියල්ල සැරසූහ.
මහ මල් හාමි සුදුසු වෙලාවට පැමිණියේ ය. වැඩි හිටි සිවල්ලු බොහෝ දෙනෙක් එහි වූහ. කැරපොත්තන් පණුවන් ආදිය මහ මල්හාමිට ද, ගස් යට වැටුණු වැළ වරකා මිඳුළු සිවලුන්ට ද පිළීයෙල කරන ලදී. මහ මල්හාමි කැර පොත්තන් ද පණුවන් ද රාශියක් ගිල දමා මහත් ප්‍රීතියෙන් සිවලුන් සමඟ දොඩන්නට විය. හිවල්ලු ද මස් නොකන බව ඔහුට හඟවා වැළ වරකා මිඳුළු ටිකක් ලෙව කා දෙඩිල්ලට වැටුණෝය. එදා තරම් සංග්‍රහයක් මල් හාමි කිසි කලෙක නො වින්දේය.
"කුකුළන් දුටුවා ම හිවලුන්ට කන්නට හිතෙනවා ය කියනවා, මට නම් ඔබ දුටුවා ම දුවන්නටයි හිතෙන්නේ" යනුවෙන් නුවණ හාමි මහ මල් හාමි ගේ ඔද වැඩුයේ යැ. "ඇයි, ඒ පය දුටුවා ම මදැයි" යනුවෙන් කපට හාමි ඒ කතාවට රුකුල් දුන්නේ ය. විහිළු හාමි දුවන්නට ම සැරසුණාක් මෙන් හඟවා ඒ මේ අත බැලී ය. මහ මල් හාමි හිස කෙළින් කොට ගත්තේ ය. මඳක් සිනාසුණේ ය. තේජස් දක්‌වා ගෙන උන්නේ ය.
"මන් ද ඔබ ගේ ජාතියේ අය මේ පයින් ම ගසන්නෙ" යි කපට හාමි මෙහි දී ප්‍රශ්නයක් ඇසීය. "අනේ, මා දන්නේ නෑ, අපට මේ නරක සිරිත අත්හැර ගන්නට බැරිව ඉන්නවා" යි කීය. මහ මල් හාමි "හා හා, එසේ කියන්නට එපා. ඒ නරක සිරිතක් යැ? එයින් පෙනෙන්නේ උසස් හතිය නොවේ යැ? " මෙසේ කියා නුවණ හාමි මහ මල් හාමි ගේ ආඩම්බරය තවත් වැඩි කෙළේය. විහිළු හාමි මහත් භය හඟවා ඈත්ව සිට ඔහුගේ පොර කටු අත අත ගා බැලී ය.
මෙසේ සතුටු බසින් කල් ගෙවා මහ මල් හාමි යන්නට නික්‌මුණේ ය. නුවණ හාමි දෙසට හැරී හේ මෙසේ කීයේ ය. "මන්ද මේ ඔබ පමණක් ම එන්නේ කුකුළා ගමුවට? යාළුවන් ගේ කැමැත්තක් නැද්ද එහි එන්නට? එන ඉරිදා එනවා නම් හොද පොරයක් බලන්නට පුළුවනි. මගේ පුතා පොර කටුවා, එදා අපේ නඟා ගේ පුතා උල් හොටා සමඟ මහ මල්ල යුද්ධයක් කරනවා. මේ කවුරුනුත් එන්න එය බලන්නට."
සියල්ලෝ ම එක් හඩින් මීට කැමැති වූහ. "අපට පොර ඉගෙන ගන්නට පිළිවනැ" යි විහිළු හාමි කීයේය. "අපට බලා ඉන්නට වත් හොඳ දැ" යි කපට හාමි ඇසීය. "හොදා, හොදා. ඔබට කිසි වරදක් වෙන්නෙ නෑ. එන්න, එන්නැ" යි කියා මහ මල් හාමි අවසර ලැබ ගියේ ය.
