දිනක් නුවණ හාමිට මහත් භයෙක් උපන්නේ ය. ගොවි ගෙදර බලු හාමි ඉතා සැලකිල්ලෙන් බිම ඉඹ ඉඹ කැලයට යයි. ඔහුගේ පස්‌සෙන් ආ ගොවි හාමි ගේ කර උඩ අර දඬු කැබැල්ලය. දඬුයෙන් නැගුණු ගිනි මතක් විය. පුතා ගේ මර හඬ මතක් විය, හේ මදක් දිව පස්‌ස බැලී ය. බලු හාමිත් ගොවි හාමිත් වෙන අතෙක යන බව දැක යන්තම් ළය නිවාගෙන කල්පනා කරන්නට වූයේ ය.
"කුකුළා ගමුවට යන්නට කදිම දවස. බලු හාමිත් නෑ. ගොවි හාමිත් නෑ. ගිනි ඳඬුවත් නෑ. එහෙත් දාවල් යනවා මගේ හිතට හොද නෑ, නෑ එකෙකු දෙන්නෙකු ගෙනැවිත් කුමක් කරන්නට ද? මහ කුකුළු රළ ම ගෙනැවිත් මගුල් කන්නට අද උගුල ඇටවීම පටන් ගන්නවා. මා එදා සිතු උපායට අද තමා හොද නැකත." මෙසේ සිතා නුවණ හාමි ගෙදර ගොස්, තමා බැහැරක යන බව හාමිනේ ට කියා කුකුළා ගමුව දෙසට පිටත් ව ගියේ ය.
නුවණ හාමි කුකුළා ගමුවට ළං වන විට එහි මහත් කලබලයෙක් පැවතුණේ ය. එදා දෙපළෙක පොර දෙකෙකි. දෙ පළෙහි ම මල්ලයෝ කරට කර සරිය. එහෙයින් පෙර නොදුටු තරම් බලවත් මල්ල යුද්ධ දෙකෙක් වූයේ ය. එකෙකු වත් පස්‌සට අඩියක් නොතැබූ හෙයින් ජයක් ගැන වචනයෙකුත් නැත. " අද හිර බසින තුරු ම පොර බැලීම තමා " යි බොහෝ කිකිළියෝ කීවෝය.
මේ අතර එක් කිකිළියක ගේ පැටවෙක් නුවණ හාමි සිටි අසලින් ගියේ ය. හේ නුවණ හාමි ට එක කටටත් මදිය. නුවණ හාමි කුකුළු පැටවා නො හඩන ලෙස කටින් අල්ලා ගෙන ඈත පදුරකට ගියේ ය. එහි පිට විය නො හැකි ලෙස කුකුළු පැටවා රඳවා අවුත් සිටි තැනම සිටියේ ය. මඳ වේලාවෙකින් කිකිළිය ද පුතා සොයා ආවාය. නුවණ හාමි හඩක් නඟන්නට පළමු කිකිළිය ගේ ඔළුව ම කටෙහි ලා අල්ලා ගෙන ගොස්, ඇය කුකුළු පැටවා සිටි තැනම තැබී ය.
නුවණ හාමි ගේ කටින් ගැලවුණ හා ම කිකිළිය මර හඬ ලන්නට වන්නීය. ඒ හඬ කුකුලා ගමුවට නො ඇසෙ යි. නුවණ හාමි ඇයට අවවාද කෙරෙයි. "මර හඬ ලන්නට එපා. ඉහත දී නම් අපත් පව් කළා හැබැයි, දැන් එසේ කරන්නේ නෑ. මේ ගිය පෝය දා ත් මා සිල් ගත්තා. මා මේ ඔබ ගෙනාවේ දරුවන් රැක බලා ගන්නේ මෙහෙම ද කියා අහන්නට යි. මේ ළමයා මේ කැලේ යනවා මා දුටුවා.
ඉතින් මෙතන තබා, මේ ඔබ එක්‌ක ආවා බාර දෙන්නට. ළමයින් මේ කැලේ ගියාම මා දුටු නිසා ගොදයි. මුගටියෙකුට වත් කපුටකුට වත් අසු වුණොත්! බය ගන්නට එපා. ළමයාත් එක්‌ක යන්න. මා ඉන්නා වේලාවෙක විනා වෙන වෙලාවක නම් ළමයින් මේ දිසාවට එවන්නට එපා." කිකිළිය පුදුම වූවා ය. වෙවුල වෙවුල නුවණ හාමි ට ස්‌තුති කොට දරුවා සමඟ නික්‌මුණා ය.
නුවණ හාමි මහත් ආදරයෙන් ඇය ගේ හිස සිඹ, පිට සිඹ, හොට සිඹ, පැටවාට ඊට වඩා ආදරය දක්‌වා, "යන්න දුව යන්න." යී කීය. කිකිළිය දරුවා සමඟ ඉදිරියෙන් යෙයි. නුවණ හාමි පස්‌සෙන් යයි. කිකිලිය ගේ ගෙදර ළං වූ විට නුවණ හාමි යළිත් ඇය ද ඇයගේ පුතා ද සිඹ සනසා අවවාද කළේ ය.
"හෙට මම යමක් ගෙනත් දෙන්නෙමි. මේ වාගේ වෙලාවට මෙහි ඉන්න" යි කියා හැරී ගියේ ය. කිකිළිය පුදුමයෙනුත් පුදුමයට පැමිණ පුතා ද සමඟ ගොස් නෑයන් හා එක් වූවා ය.
සිදුවූ සියල්ල කකිළිය කී විට එකෙකු වත් එය විශ්වාස කො කෙළේය. මගේ ඇසින් දුටු, කනින් ඇසූ, දේ තමා මා කීවේ ඉතින් විශ්වාස කරනවනම් විශ්වාස කරන්න. කිකිළිය මෙසේ කියා තමා ගේ කටයුත්තෙහි යෙදුණා ය. "හිවලුන් සමග යාළු කම් හොද නැතැ" යි කියා මහළු කිකිළියෝ ඇයට අවවාද කළෝය. "මීයා ගේත් බළලා ගේත් යාළුකම වැනිය," යි එකක් කීවාය. කියා ගිවිස්‌සා ගත නොහැකි බැවින් කිසිවක් නොකීවා ය. අර කිකිළිය.
පසු දා නුවණ හාමි පණුවන් ගැසූ මස් කැබැල්ලක් හබරල කොළයෙක ලා ගෙන කුකුලා ගමුව අසලට ආයේ ය. කිකිළිය ද පැටවු සමඟ පුරුදු තැනට ආවා ය. නුවණ හාමි හබරල කොළය බිම හෙළුවේ ය. කුකුළු පැටවුන් පණුවන් දැක වහා ඇහිඳ කන්නට වූහ. කිකිළිය ද සැක බිය නැතිව කන්නට වන්නීය. ඔවුන් කා නිම වූ පසු නුවණ හාමි කිකිළිය ද සියලු පැටවුන් ද සිඹ සනසා ආදරය දක්‌වා නැවත ද එන බව කියා ගියේ ය.
එදා ඒ කිකිළිය ගේ කථාව අසා තවත් කිකිළියන් ගේ බඩේ ගින්න ඇති විය. පණු රස දැනෙන්නාක් මෙන් විය. එ හෙයින් පසුදා කිකිළියෝ කීප දෙනෙක් ම හිවලා එන තැනට ගියහ. එදා නුවණ හාමි ගෙන ආයේ කොයි දෝ සොයා ගත් කැරැපොතු ගුලියෙකි. එහි ගිය සියළු කිකිළියෝ එයින් මහත් ප්‍රීතියට පැමිණියෝ ය. නුවණ හාමි ගේ ආදරය ද වින්දෝ ය. මෙසේ දින ගණනක් යෑමෙන් මුළු කුකුළා ගමුව නුවණ හාමිට ආදරය කරන්නටත් ගෞරව කරන්නටත් පටන් ගත්හ.
