කුකුළා ගමුවට සැතපුමක් පමණ ඈතින් ඝන වනය මැදිදේ පිහිටියේ හිවලා වල යි. එය ද දකින්නට ම වටිනා තැනෙකි. මහ ගස් මහ අතු විහිදුවා ගෙන, අහස ඔසවා ගෙන මෙන් සිටියේ ය. ඒ අතර කොස්, දෙල්, අඹ, පලු, වීර යනාදි ගස් ද වෙයි.
වැළෙහි වරකයෙහි සුවඳ මුළු වනයෙහි පැති යයි. ගස් මුල් වැල් විහිදී ගෙතී සෑදුණු මඬු වටා පිපුණු මලින් විසිතුරු ය. තන්හි තන්හි ගල් ගුහා ද වෙයි. වඳුරෝ ගෙඩි මල් කොළ කමින් ගසින් ගසට පනිමින් කෙළිති. ලෙහෙන්නු ටිං ටිං ගාමින්වලග ගසේහි ගසති. වලස්‌සු මී සොයා ගස් නගිති. කුරුල්ලෝ මිහිරි නාද පවත්වති.
ගලි ගුහාවල ද වැල් මඬුවල ද තවත් සතත්ව වර්ගයෙක් වෙත්. ඔහු නම් සිවල්ලු ය. එක් තැනෙකැ දරුවන් කිරි පොවා සනහන සිවල් හාමිනේ ය.
එක් තැනෙකැ රෑ දඩයමට ගොස් වෙහෙසවී අවුත් නිදන සිවල් හාමි ය. එක් තැනෙක පෙම් කෙළින සිවල් දරුවෝ ය. දස අත කන ලද සතුන් ගේ ඇට කටු ය. තරුණ සිවල්ලු කෙළි දඩයම් කෙරෙති. තරඟයට දිවෙති. එකෙක් තවකෙකු හඹා යයි. පළමු දිව්යේ මඳක් දිව ගොස් බිම පෙරැළී හතර පා ඔසවයි. හඹා ගියේ පෙරළුණහු ගේ බඩ විකා, මුව විකා තෙමේ දිවෙයි. අනෙකා වහා නැගී දිවුවහු හඹා යයි. තමාට කළ තාක් දෑ ඔහුට කෙරෙයි. මේ අතින් හිවලා වල දවස පුරා බලා සිටය හැකිය.
හිවල් මුළේ නායකයා වූ නුවණ හාමි දිනක් වෑඩිහිටියන් කීප දෙනෙකුන් සමඟ දොඩ දොඩා උන්නේ ය. "දැන් මේ වනයේ ආහාර බොහොම හිඟ නො වැ? ඊයේ මට නම් බඩ පුරා කන්නට ලැබුණෙත් නෑ" යි හේ කීයේ ය.
"ඒක නොවේ නම්? බලන්න ඊයේ අර හා හාමි අල්ලා ගත්තේ කොපමණ වද විඳලා ද? ඔබ එළවා ගෙන කළ ඔහු දුවන්නට ඉගිලුනා. ඉදිරියේ මේ විහිළු හාමි දැකලා දකුණු අතට හැරී දිවුවා. අනේ එ හෙම දිවුමක්. ඔහු මට අහු වෙන කල මගේ හොඳ පණ ගොහින්" මෙසේ කීවේ කපට හාමිය.
"ඒකාවත් නොලැබුනා නම්?" යයි කියා විහිළු හාමි සුසුමක් හෙලු යේය.
නුවණ හාමි මද වේලාවක් සිතිවිල්ලේ උන්නේ ය."කුකුළු මස් කෑ කලක්‌වත් මට මතක නෑ. මගේ ලොකු පුතා කන්දිගා කුකුළා ගමුවේ දී මැරුණු දා සිට මෙතෙක් මා ඒ දිසාවටවත් ගියේ නෑ. රස ය කියා කෑමට ගොසින් මැරෙන්නට පුළුවන, අනේ මගේ ඇස් ඉදිරියේ ම මගේ පුතා මැරුම් කෑ සැටි මතක් වෙන විට මගේ ඇසට කදුළු එනවා" මෙසේ කියා නුවණ හාමි වමතින් ඇස් වසා ගත්තේය.
"හැබෑවට ම එදා කුමක් වුණා දැ" යි මෙහිදී විහිළු හාමි ප්‍රශ්නයක් ඇසී ය. නුවණ හාමි සිදුවූ දේ විස්‌තර කළේ ය. කුමක් වුණා ද? මගේ පුතා කුකුළා ගමුවට ඇතුළු වෙනවා හා ම ඒ බිය සුළු කුකුළු රාළ මර හඩ දෙන්නට පටන් ගත්තා. එ විටම කොයින් ආවාද මා දන්නේ නෑ. අර නපුරු බලු හාමි බුරාගෙන ඇවිත් කන් දිගා කුකුළා ගමුවේ මැදට එළවා දැමුවා. ගොවි හාමි දිවගෙන ආවා. ඳඬු කෑල්ලක් දික්‌කලා එයින් ගිනි පිටවුණා, මගේ පුතා ඉවරයි.
කවුරුත් මේ වර සුසුම් හෙළුවෝ ය. කවුරුත් නොදොඩා සිටියෝ ය. අන්තිමයේ දී නුවණ හාමි ම නැවතත් දෙඩීම පටන් ගත්තේ ය. හොඳයි, පුතා මළා. මට නම් කුකුළු මස් කෑල්ලක් නොකා නිකම් ලෙඩ වගෙයි. කුමක් කරමු ද? මෙසේ කියනවා හා ම නුවණ හාමි ගේ කට මදක් දිය වුණේ ය. දිව තොලේ ගෑවුණේ ය. ඉතිරි අයගේ කටේ ද මේ වෙනස වූයේ ය. "යමුද කවුරුත් කුකුළන් හතර පස් දෙනෙක් ඩෑගෙන එන්නට" යි විහිළු හාමි අසීය. " යමු යමු තවත් නො එන්නට ම යමු" යි කපට හාමි වේහයෙන් කීයේ ය.
නුවණ හාමි නැවතත් සිතිවිල්ලට වැටුණේ ය. ඉතිරි අය ඔහුගේ මුහුණ දෙස බලා සිටියෝ ය. ඉවසා ගෙන ඉන්නට බැරි තැන "මහ කල්පනාවක් වගෙයි" යනු විහිළු හාමිට කියැවුණේ ය. නුවණ හාමිට මදක් සිනා ගියේ ය. ඔහුගේ හිස මදක් සෙලවුණේ ය. ඔහුගේ ඇස් දෙක පළල් වුණේ ය. හේ දොඩන්නට වන. "බලව් තව වැඩි දවසක් යන්නට පෙර අප එක එකාට අඩු ගණනේ එකා බැගින් වත් කුකුළන් මෙ තැනටම නො ගෙනාවොත් මට නුවණ හාමි ය කියන්නට එපා." හේ මහත් ආඩම්බර ලීලාවෙකින් රවුළ ද කරකවා ගත්තේය. නැවතත් දිව තොලේ ගෑ වේය. තලු ද ගැසී ය.
විහිළු හාමි විහිළුවටම පටන් ගත්තේ ය. "කුකුළු මස් කා ලා තලුත් ගසා ඉවර දැ" යි ඔහු ඇසූ කළ නුවණ හාමි ඔහුට රවා " ඔබ එදා කුකුළු මස් කන්නේ නැද්දැ" යි ඇසී යැ. විහිළු හාමි හිස කර කවන්නට වන්නේ ය. "කුකුළන් ගෙනෙන්නේ කෙසේ දැ " යි ඉතිරි අය ඇසූහ. නුවණ හාමි හිස දෙපසට ගසා කීය. " නැ, නැ දැන් ම කියන්නේ නෑ. මෙය දැන් ම කීවොත් සිදු වෙන්නෙත් නෑ. එසේ නම් මගේ නමේ මුළට "අ" යන්නකුත් යොදන්නට වෙයි. බලමු"
