ටවර් හෝල් නාට්‍ය යුගය
 

සිංහල වේදිකා නාට්‍ය ඉතිහාසයේ වැදගත්න රංග ශාලාව වූයේ "ටවර් හෝල් රඟහල" ය. එය 1911 දෙසැම්බර් මස 07 වෙනි දින අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙය විවෘත කරන ලද්දේ නීතිඥ චාල්ස් ඩයස්ගේ "පණ්ඩුකාභය" නාට්‍යය කරලියට ගෙන ඒමෙනි. මෙම නාට්‍යය තුළින් සිංහලේ ශ්‍රී විභූතිය ගෙන හැර දැක්වීම එහි ප්‍රධාන අරමුණ විය. ටවර් හෝල් රංග ශාලාව විවෘත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව පුරා ක්‍රමයෙන් රංග ශාලා බිහිවන්නට විය. මෙම රංඟ ශාලා බිහිවීම සිංහල නාට්‍ය කලා ක්‍ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති කළේය. මරදානේ එල්පින්ස්ටන්, වැල්ලවත්තේ ප්ලාසා, අම්බලන්ගොඩ සරස්වතී හෝල්, ගාල්ලඟ පබ්ලික් හෝල්, මාතර ටවර් හෝල්, මහනුවර ඇම්පයර් හෝල්, මාතලේ ස්ටාර් හෝල්, බදුල්ලේ විපොලි හෝල් එසේ බිහිවූ රංග ශාලාවලින් කිහිපයකි.


මේ කාලය තුළදීම නාට්‍ය සංගම් විශාල ප්‍රමාණයක් බිහි විය. මරදානේ ටවර් හෝල් රංග ශාලාවේ බී.ජී. පෙරේරා කලාකරුවාගේ "කොළඹ සිංහල නාට්‍ය සභාව" ජෝන් ද සිල්වාගේ ග්‍රෑන්ඩ්පාස්හි "විජය රංග සභාව" ජේ. පීටර් සිල්වාගේ "විපුල ජන රංග සභාව" යූ.පී.පී. අබේසේකරගේ "සරස්වතී නාට්‍ය සභාව" ඒ අතර මුල් තැනක් ගනී. මේ ආයතනවලින් වෘත්තීය නළු නිළි කණ්ඩායම් බිහි වීම විශේෂ ලක්ෂණයක් විය.



කොළඹ ටවර් හෝල් යුගයේ කැපී පෙනුණු නාට්‍ය රචකයා මැන්දිස් පෙරේරා විය . ඔහු නාට්‍ය ග්‍රන්ථ 30 ක් පමණ ලියා ඇත. රජ කතා, ඉතිහාස කතා ඔහුගේ නාට්‍ය රචනාවල මුල් තැනක් ගත්තේය. ටවර් හෝල් යන්න සිංහල නාට්‍ය කලාවේ එක් යුගයක් හැඳින්වීම සඳහා යොදා ගත් සංකල්පයකි. ටවර් හෝල් අවසාන යුගයේ දී වඩාත් ජනප්‍රියත්වයට පත් නාට්‍ය අතර සිවම්මා ධනපාල, විදුර ජාතක නාටකය, ධර්මාශෝක, පෙරකදෝරු බෑනා, සුවිනීතා භාර්යා, පද්මාවතී ආදී නාට්‍ය මුල්තැනක් ගනී. ටවර් හෝල් යුගය වශයෙන් සැලකිය හැකි වන්නේ 1911 සිට 1933 දක්වා කාලයයි.

1933 දී පමණ ටවර් හෝල් නාට්‍ය ශාලාව චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා වෙන් කරන ලද හෙයින් සිංහල නාට්‍යයට හා නාට්‍යකරුවන්ට අයහපත් කල දසාවක් උදාවිය. ජෝන් ද සිල්වා ඇතුළු සමකාලීන නාට්‍යකරුවන්ගේ නූර්ති ලෙස හැඳින්වූ නාටක මෙන්ම පසුව ටවර් හෝල් නාට්‍ය ලෙස හඳුන්වන ලද නාටකද වැඩි කලක් යාමට පෙර ජනප්‍රිය භාවයෙන් ගිලිහෙන්නට විය.

මේ අතර ටවර් හෝල් නාට්‍ය සම්ප්‍රදාය තවදුරටත් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ සිරිසේන විමලවීරයන්ගේ නාට්‍ය ව්‍යාපාරයද සාර්ථක ප්‍රතිඵල නොලැබීය. සිරිසේන විමලවීරගේ නිෂ්පාදන අතර සුරඟන, ලංකා යක්ෂණී, සිංහල කොඩිය, රොඩී කෙල්ල, අම්මා, සිංහල වීරයා, සීදේවි, පිටිසර කෙල්ල ආදියද විය. ආගමික, සංස්කෘතික හා ජාතික සිරිත් විරිත් ජනතාව අතරට ගෙන යාමටත් පරගැති සංකර සිරිත් උපහාසයට ලක් කිරීමටත් විමලවීර මහතා විසින් ටවර් හෝල් නාට්‍ය යොදා ගන්නා ලදී.

ජයමාන්න නාට්‍ය


නූර්ති ලක්ෂණ හා නාඩගම් ලක්ෂණ මුළුමනින්ම පාහේ බැහැර කරමින් තත්කාලීන සමාජ කතා පුවත් පදනම් කරගෙන ස්වභාවික සම්ප්‍රදාය අනුගමනය කරමින් බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න මහතා නාට්‍ය නිර්මාණය කළේය. මේවා බොහෝ විට බටහිර සංවාද නාට්‍ය ආකෘතියට සමීප විය. මෙම නාට්‍ය සම්ප්‍රදාය "ජයමාන්න නාට්‍ය" වශයෙන්ද, "මිනර්වා" නාට්‍ය වශයෙන්ද හඳුන්වන ලදී. පෙම් ජවනිකා, විනෝද සවාරි, විහිළු තහළු, ආයා-අප්පු ප්‍රේම ජවනිකා යනාදිය ජයමාන්න නාට්‍යවල අනිවාර්ය අංග විය. නාට්‍ය වෙළඳ භාණ්ඩයක් බවට පත්ව තිබූ මෙකල ගැනුම්කරුවා සතුටු කළ හැකි පරිදි අවශ්‍ය හැම අංගෝපාංගයක්ම නාට්‍ය තුළ අන්තර්ගත කරන ලදී. සමකාලීන සිදුවීම් උසස් සමාජයට උපහාසය එල්ල කිරීම හා එඩී ජයමාන්න ආදීන්ගේ විහිළු තහළු ආදිය නිසා මහජනයා වඩාත් කැමති වෙළඳ භාණ්ඩයක් ලෙස ජයමාන්න නාට්‍ය වහා ප්‍රචාරය විය.

බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න ස්වභාවික ශෛලිය අනුගමනය කළද ඔහුගේ නාට්‍ය තුළ සිංදු ආදිය ඇතුළත් විය. වාණිජමය අවශ්‍යතා ගැන සිතා නාට්‍ය අතර මැද කන්කලු ගී සින්දු ආදිය ඇතුළත් කළද බොහෝ විට ඒවා අවස්ථාවෝචිත නොවීය. ජයමාන්න නාට්‍ය අතර අවතාර, කඩවුණු පොරොන්දුව, පෙරළෙන ඉරණම, හදිසි විනිශ්චය, සැඟවුණු පිළිරුව හා කපටි ආරක්ෂකයා වැනි නාට්‍ය වඩාත් ජනප්‍රිය විය. විහිළු කතා, ජොසී බබා, මනප්පුවා වැනි විකට චරිත, අද්භූත සිදුවීම්, ත්‍රාසය, පෙම් ජවනිකා, බොළඳ ප්‍රේමය, පහත් රුචිකත්වය දැරූ ගී සිංදු ආදිය ජයමාන්න නාට්‍ය ජනප්‍රිය වීමට ප්‍රධාන හේතු විය.

ජයමාන්න නාට්‍ය සඳහා දායක වූ පුද්ගලයන් අතර වඩාත් කැපී පෙනෙන්නේ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න, එඩී ජයමාන්න සහ රුක්මණී දේවියයි.


ජයමාන්න නාට්‍ය සම්ප්‍රදාය ක්ෂණිකව ජනප්‍රිය වූවා සේම ඉක්මනින්ම පරිහානියටද පත්විය. බුද්ධිමත් හා සාමාන්‍ය ප්‍රේක්ෂකයා රඳවා ගැනීමට එහි කිසිවක් නොවීය. මේ අතර නාට්‍ය කලාවේ තැන උදුරා ගෙන චිත්‍රපටය බලවත් වන්නට විය. මේ අන්දමින් නූර්ති යුගයෙන් අනතුරුව බිහි වූ ටවර් හෝල් නාට්‍ය හා ජයමාන්න නාට්‍ය සිංහල නාට්‍ය කලාවට හරවත් යමක් දායාද කිරීමේ හැකියාවක් නොලබාම අභාවයට පත්විය.

ජයමාන්න නාට්‍යයන්හි ප්‍රධාන ලක්ෂණ


1. නාට්‍ය නිෂ්පාදනය සඳහා මධ්‍යම පාන්තික තේමා යොදා හැනීම.
2. ගීතයත් සංවාදයත් යන දෙකම නාට්‍ය සඳහා යොදා ගැනීම.
3. සමාජයේ අඩුපාඩු විවේචනය සහ හාස්‍යයට ලක් කිරීම.
4. ස්වභාවික මෙන්ම ශීලිගත යන ශෛලින් දෙකේ මිශ්‍ර වීමක් දක්නට ලැබීම.
5. ග්‍රාමීය විකට ජවනිකා බහුල වීම.


ජයමාන්න නාට්‍ය හා ටවර් හෝල් නාට්‍ය අතර වෙනස


1. ටවර් හෝල් නාට්‍ය ගීත සඳහා හින්දුස්ථානි රාගතාල යොදාගත් අතර ජයමාන්න නාට්‍ය ගීත සඳහා ඉතා සරල බටහිර තනු භාවිතා කිරීම.
2. ටවර් හෝල් නාට්‍ය සඳහා පුරාණ කතා තේමා කරගත් අතර ජයමාන්න නාට්‍ය සමකාලීන සමාජ සිද්ධීන් තේමා කොට ගැනීම.
3. ජයමාන්න නාට්‍යවල කැපී පෙනෙන හාස්‍ය උත්පාදක බව ටවර් හෝල් නාට්‍යයෙහි දක්නට නොලැබීම.
4. නාට්‍යමය ලක්ෂණ අතින් ජයමාන්න නාට්‍ය ටවර් හෝල් නාට්‍යයට වඩා දුර්වල වීම.

(c) Shilpa Sayura Foundation 2006-2017