නාඩගම්
 

දේශීය රංග කලාවේ සොකරි හා කෝලම් ගැමි නාටක සම්ප්‍රදායන්ට වඩා අංග සම්පූර්ණ රංග සම්ප්‍රදායක් හැටියට නාඩගම් හැඳින්විය හැකිය. කල්පිටියේ සිට කළුතර තෙක් වෙරළබඩ තීරයෙහි නාඩගම් කලාව ව්‍යාප්තව තිබුණි. එදිරිවීර සරත්චන්ද්‍ර මහතා පවසන්නේ මෙය ඉන්දියාවෙන් මෙරටට ආ කලා අංගයක් ලෙසය. ඉන්දියාවේ ප්‍රචලිතව තිබුණු තෙරුක්කුත්තු නමැති වීදි නාට්‍ය සම්ප්‍රදාය ඔස්සේ නාඩගම් ව්‍යාප්ත වී තිබුණු නමුත්, 18 වන සියවස තරම් මෑත කාලයේ දී අප රටට ලැබෙන්න ඇතැයි එතුමා පවසයි. තෙරුක්කුත්තු නමැති ගැමි නාට්‍ය සම්ප්‍රදාය බෙහෙවින් ව්‍යාප්ත වී තිබුණේ 12 වන සියවස තරම් ඈත අතීතයක සිටය. එබැවින් සිංහල නාඩගම් කලාව ඉන්දියාවේ තෙරුක්කුත්තු වීදි නාට්‍ය කලාවෙන් නොව පෘතුගීසි ජන වන්දනා නාට්‍යවලින් බිහිවූ කලාංගයක් බව එම්.එච්. ගුණතිලක මහතා විසින් කරුණු දක්වා තිබේ. සිංහල නාඩගම් සම්ප්‍රදායේ ආරම්භය පැහැදිලි කරන සරත්චන්ද්‍රයන් අනික් සියලු ගැමි නාටකවලට වඩා අංග සම්පූර්ණ නාට්‍ය සම්ප්‍රදායක ලක්ෂණ විදහාපාන ප්‍රථම නාඩගම පිලිප්පු සිංඤෝගේ "ඇහැළේපොල" හෙවත් සිංහලයේ නාඩගම බව පවසයි.


1739 දී නානයක්කාර් වංශික රජවරුන්ට කන්ද උඩරට සිහසුන හිමි වීමෙන් පසු තැනැත්තෙක් ලංකාවට පැමිණ ඇත. ඔහු විසින් දකුණු ඉන්දියාවේ ප්‍රචලිතව තිබුණු නාඩගම් නමැති සම්ප්‍රදායක් ගුරුකොට රජු හා රාජ සභාව ඉදිරියේ නාඩගම් රඟ දැක්වූ බව විල්මට් පී. විජේතුංග මහතා පවසයි. මෙසේ උඩරට ප්‍රදේශයේ නායක්කාර් රජවරුන්ට සිහසුන වීමෙන් පසු එම කාලය තුළ නාඩගම් රඟ දක්වන්නට ඇති බව පෙනෙතත් මෙය වැඩි වශයෙන් ජන කලාංගයක් හැටියට ව්‍යාප්තව තිබුණේ කල්පිටිය, කළුතර අතර වෙරළ තීරයේ බව පෙනී යයි. කොල්ලුපිටියේ වාසය කළ පිලිප්පු සිංඤෝ නාඩගම් සම්ප්‍රදායේ දියුණුවට ප්‍රබල සේවයක කර ඇත. කම්මල්කරුවෙකු වූ පිලිප්පු සිංඤෝ තමාගේ කම්මලේ බිත්තියක අඟුරු කෑලිවලින් නාඩගම් සින්දු සටහන් කළ බවත් සඳහන් වේ. පිලිප්පු සිංඤෝ ලියන ලදැයි සැලකෙන නාඩගම් අතර ඇහැළේපොළ නාඩගම, මාතලං, සෙන්ගප්පු, සිංහවල්ලි, හෙලේනා, සන්නිකුලා, රජතුන් කට්ටුව, සුලඹාවති යන නාඩගම් ප්‍රධාන වේ. මෙවැනි නාඩගම් 13 ක් පිලිප්පු සිංඤෝ විසින් රචනා කර තිබේ.

නාඩගම පරිපූර්ණ රංග කලාවක් බව "FOLK DRAMA OF CEYLON" නම් කෘතියේ සරත්චන්ද්‍ර මහතා විසින් සඳහන් කර තිබේ. එය මේ අන්දමින් පැහැදිලි කරයි.

"නාඩගම් වූ කලී අවශේෂ ගැමි නාටක විශේෂයන්ට වඩා අංග සම්පූර්ණ දෘශ්‍ය කාව්‍ය ලෙස සැලකිය හැක. මුළුමනින්ම වාගේ ගීතයේ මාර්ගයෙන් අනාවරණය වන වස්තුවලින් යුක්ත වූ මෙම නාට්‍ය බටහිර ඔපෙරා නමින් හැඳින්වෙන ගීත නාටක විෂයටත් පීකිං ගීත නාට්‍යවලටත් සමාන කළ හැකිය. නාඩගම්වල කිසියම් නිශ්චිත රංග ශෛලියක් ඇත. මෙම ශෛලිය වනාහි කෝලම්, සොකරි ආදියෙහි මෙන් නොව නාට්‍යමය අවස්ථාවක් නිරූපණය හා නාට්‍ය රසය ජනනය කිරීමට ප්‍රමාණවත්ය. නාඩගම්, අංග සම්පූර්ණ නාට්‍ය විශේෂයක් යයි කීවේ මේ හෙයිනි. නාඩගම් පොදුවේ ඔපෙරා ගණයෙහිලා සැලකිය හැකි වුවද රංග ශෛලිය වශයෙන් ගත් විට වඩාත් සමීප වන්නේ යුරෝපීය ඔපෙරාවට වඩා චීන නාටකවලටය.

නාට්‍ය ධර්මි හෙවත් ශෛලිගත සංස්කෘත නාට්‍යවල මෙන් නාඩගම්වල දෘෂ්‍ය හා ශ්‍රව්‍ය වශයෙන් ඉදිරිපත් කරන කොටස්වලට අමතරව සුව්‍ය කොටස් ඉදිරිපත් කිරීමට පොතේ ගුරුගේ චරිතය යොදා ගනු ලැබේ. නාඩගම්වල අත්වැල් ගායනය සඳහා හයදෙනෙක් නව දෙනෙක් පමණ පිරිසක් යොදා ගනු ලැබේ. වාද්‍ය මණ්ඩපයක් තිබෙන අතර ඉන්දියානු කර්ණාටක සංගීතය ඒ සඳහා යොදා ගැනේ. තාල භාණ්ඩ වශයෙන් මද්දලය යොදා ගන්නා අතර ශ්‍රැති භාණ්ඩ වශයෙන් සර්පිනාව, වයලීනය යොදා ගැනේ.

නාඩගම් ආරම්භ වන්නේ පොතේ ගුරුගේ පොතේ කවිය නොහොත් මුල් කවිය ගැයීමෙනි. මෙම කවිය මූලාරම්භ කවිය නොහොත් පූර්ණ විරිදුව කියාද නම් කරනු ලැබේ. නාඩගම් සම්පූර්ණයෙන් වාගේ කවියෙන් හා සිංදුවෙන් යුක්ත වේ. මෙම කවි සිංහල වෘත්ත අනුවද, දෙමළ වෘත්ත අනුවද රචනා කොට තිබේ. සිංහල වෘත්ත සාමාන්‍යයෙන් කවි නමින් හැඳින්වේ. නළුවන් දෙදෙනෙකු අතර සංවාදයද සිංදුවෙන්ම කෙරෙයි. ඊට සංස්කෘත තර්ක ශබ්දයෙන් බිඳෙන "තර්ගෙ" යන වචනය ව්‍යවහාර කරයි.

නාඩගම් රචනා කිරීමේදී සංස්කෘත භාෂාව ඇතුළු තවත් භාෂාවන්ගෙන් ලබා ගත් සම්මිශ්‍රණ වාග් මාලාවක් දක්නට ලැබේ. පිලිප්පු සිංඤෝගේ ඇහැළේපොළ නාඩගමෙන් කොටසක් මීට උදාහරණ වශයෙන් දැක්විය හැකිය.

ගණතිමිර මුළු ලොවේ ජල වෙනස් කර සප්ත මහ සාගරයෙන්
වියළි කර නුබ දෙරණ තල පූර්ව දිග සක්වලාරම්භයෙන්
සුර නිර සවි සතුන් නොයෙක් දේ මැවි සර්ව වල්ලඹ දෙවිතුමන්
ගැතු නිතර අදහ වැද ගතිමි, දිවි හිමි වූ තෙක්මා රැකදෙවන්


පූර්වයෙන් සුමුල සුයම්බ වූ , අමර මුරු සෘෂටි කළ සවි සතුන්
මති දවන් තද මහිම තෙදිව පිරිවර වැජඹි අප්‍රමාණ අනුග්‍රහයෙන්
දෙවු ඔවුන් මා රකිනු සිහි නැණ දි දෝෂ හළ නමෝ නිති බක්තියෙන්
මහ අබිද යෝනි උපේන්ද්‍ර මහේෂ්වර ත්‍රිමූර්ති පඤ්වග්‍ර සර්වඥ බගවතුන්


(මෙහි නොපැහැදිලි වචන හා වැරදි අක්ෂර වින්‍යාසයක් දක්නට ලැබේ. ඒවා වෙනස් නොකර මුල් ස්වරූපයෙන්ම තබන ලදී)

පූර්ණ විරුදුවෙන් පසුව එක් එක් නළුවෙකු කරලියට ඇතුල්වන විට පොතේගුරු විසින් හඳුන්වා දෙයි. පොදුවේ නළුවන් අතර පළමු වැන්නා බහුබූතයා හෙවත් බහුබූත කෝලමා නමින් හැඳින්වේ. ඇතැම් විට කෝනංගි නම් දෙමළ නමින් ද ඔහු හඳුන්වයි. බහුබූතයාගේ චරිතය විහිළු චරිතයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017