මනමේ කතාව
 

රජ සහ බිසව ඒම


මනමේ නිරිඳු සඳ
බිසව සමගින් මන නඳ
නොරටක යන ලෙසද
වඩින රඟ බල මේ සබේ මැද


රජ සමග බිසවුන්
වඩිනා කල සිත සතුටින්
ගමන දුර වූයෙන්
දෙදෙන වනි රුදු වනට මෙලෙසින්


වනය පසු කරලා
යන ගමන දුක වැදිලා
සාගිනි වැඩි වෙලා
බිසව පවසයි රජුට මෙකලා


පෙම්බර හිමිතුමන්
අසනුය මගෙ මෙවදන්
බඩගිනි වැඩි වෙමින්
යන්න බැරි මට දෙපය වෙවුලමින්


බිසව කියු කරුනේ
රජතුමා අසා සොදිනේ
සිත දුක් වඳිමිනේ
මෙලෙස පවසයි ඉතිනේ


එබව මෙහි පළ කොටට
දුටු දනන් සිත්තුටු කොට
නැටුමක් එන ලෙසට
නිරිඳු සහ බිසව වඩිති සබයට


මනමේ රජ සහ බිසවුන් යන ලෙසිනා
පණමෙන් ආලය හිමිහට ඇති බිසවුන් සමග සොඳිනා
වනයත් පසුකර යන්නට වුණේ නිරිඳුහට මෙලෙසිනා
කන බොන දේ නැතිව බිසවු නිරිඳුට මෙලෙසින් පවසනා
     (මෙතනදී රජ සහ බිසව ගමන් කොට යෑම කරයි)


වැදි රජ සහ පිරිස පැමිණීම


වැදි සෙනඟ රැස්කර
වැදි රජතුමන් මනහර
දුනු හී ගෙන නොහැර
ඒය රකුසන් විලස මහ ගොර


ඉස ඔටුනු බඳිමින
නිල පාටින් බබළන
වැදි සෙනඟ සමගින
ඒය වැදි රජ බලනු විගසින

වැදි රජ සහ පිරිසත් දඩයම් කරනා විලසින
එති අද දැන් මහ වනයේ සැඟවී දඩයම් කරමින
හති වැටිලා බඩගිනි වී කන්න මස් පුළුස්සගෙන
එහි මෙකලා රජ සහ වැදි පිරිස බලනු දැන් විගසින

වැදි රජ : මම ගොස් එනතුරු අපට කෑමට මස් ටිකක් පුළුස්සනු සේවකයිනි.
පිරිස : එසේ කරමි දේවයන් වහන්ස. (වැද්දන් මස් පුළුස්සයි) (මෙතනට මනමේ රජ සහ බිසව පැමිණේ)
බිසව : මගේ බඩගින්න වැඩි නිසා මෙහි නවතිනු රජතුමාණෙනි.
රජ : අන්න පෙනෙන තැන වැද්දෝ මස් පුළුස්සති. තොප ගොස් මස් කෑල්ලක් ඉල්ලාගෙන එනු බිසවුනි.
බිසව : අනේ ස්වාමිනි වැද්දන් ළගට යාමට මට බිය සිතුනි.
රජ : තොප බය නැතිව යාම කරනු, මම මෙතන සිටිමි. (බිසව ගොස් මස් ඉල්ලයි. වැද්දෝ අමු මස් කැටියක් දෙති. බිසව ගෙනත් රජුට දෙයි)
රජ : මේ අමු මස් නොවේද? මම ගෙන ගොස් ඔවුන්ගේ ඔළුවේ ගසා එමි. තොප ඔතන සිටිනු.
රජ : මම මෙම දඹදිවට අග රජ බව තොපි දන්නෙහිද? තොපි මගේ බිසව මස් ඉල්ලූ විට පුච්චපු මස් නොදී අමු මස් දුන්හ. ඒ නිසා තොපි සියල්ල සුන්කර දමමි.

(c) Shilpa Sayura Foundation 2006-2017