පොලිස් කෝලම
 

කළු කෝට් සහ දිග කළු කලිසම් හැඳ සබයට පැමිණෙන පොලිස් කෝලම්කරුවෝ කරළියේ පෙරළියක් ඇති කරති. පාත්‍රයෝ දෙදෙනෙක් හෝ සිව් දෙනෙක් මේ කෝලම් නැටුමට සහභාගි වෙති. පොලිස් කෝලමින් නිරූපණය වන්නේ ජනකලාකරුවාගේ තිබුණු උපහාස ශක්තියයි.


ආරච්චි රාල

මුදලිගේ අණ පරිදි තානායම් පොළ සකස් කිරීමට පැමිණෙන්නෙකි ආරච්චි රාල. සමහර පළාත්වලදී ආරච්චි සමග ඔහුගේ ලේකම් පැමිණෙයි. ඔහු ලියන අප්පු නමින් හැඳින්වේ. ආරච්චි කෝලම සම්බන්ධව කියවෙන කවියක් පහත දැක්වේ.

පණිවිඩ කරවනා
ලෙසට සබයට එමිනා
බස්තම රැගෙනා
එන්ඩ සැරසී සබයෙ සිටිනා


පේඬි රාල හෙවත් ජස කෝලම


පේඬි රාල කොරගහමින් සබයට අවතීර්ණ වෙයි. ජස කෝලම වර්තමානයේද ජනප්‍රිය අංගයක්ව පවතී. කාරිය කරවන රාල විසින් ජසයා හඳුන්වා දෙන්නේ මෙසේය.


බින්න මුසු මසයා
කරමින් දබර ගොසයා
දැඩි සිතැති රොසයා
බලන් එන රඟ විසුළු ජසයා


පිළි බැඳ පොදියත්
උර දරාගෙන නොයෙකුත්
කරදර කර නොයෙක්
පැනපි ජසයා සබේ විගසින්


මින්පසු ජසයා විසින්ම තමාම හඳුන්වා දෙන්නේ මෙසේය.


ගම්බීර කාලිංග නිරිඳුගේ වාසල තුළයට
මන්නද නාසේම රජුට සෝදා පට පිළි සොඳට
ඉන්නරනා තැබූ නම මා පේඬි විදානේ සන්නට
මන් මෙතනම ආමි වියන් බැඳිහට නරනිඳු එනවිට

ලෙන්චිනා


ජසයාගේ විහිළු තහළුවලින් අනතුරුව ලෙන්චිනා සබයට පිවිසෙන්නීය. ඇය රූමත්ය. ඒ නිසා දකින අයගේ සිත් ඇය කෙරෙහි වභඟ වෙයි.


පුංචි කාලේ සිට
වංච බස් දී තෙපුල් හිමිහට
සංචල් නොව සිතට
ලෙන්චිනා ඒය සරඹ ගමනට


සැම තරුණන්ගේ සිත
මවිත කරවන ලෙසින් දැන් එන
මෙසබයට දිවුනත
ඒය රුසිරෙන් දිලී පේඬි කත


මුදලි කෝලම


මුදලි, කඩු කස්තාන පැළඳගත් ආරච්චි ඇඳුමකින් සැරසී සිටී. මුදලිගේ මුහුණ කපා ඇත්තේ උද්දච්ච බව අහංකාරය ඉඳිමුණු බව පෙන්වා දෙන පරිද්දෙනි. මුදලිගේ පැමිණීමට ගයන කවිය මෙසේය.


මිණි හෙබි සිරි කඟ උර දරමින්නේ
සිරුරට දිලිපට පිළිරැළි දෙන්නේ
කඟ පළඳින කබාය දිළිසෙන්නේ
පෙළ දිලි සැදි මුතු මිණි බරකින් සැරසෙන්නේ


මුදලිගේ පැමිණීමෙමන් පසුව කෝලම් රංගනයේ පළමු කොටස අවසන් වේ. මෙම කොටස අවසන් වීමෙන් අනතුරුව දෙවන කොටස ආරම්භ කෙරේ. මෙහිදී රජු සහ බිසවගේ පැමිණීමත් සමගම නාට්‍යමය අංගයන්ගේත් පිරි කිසියම් කතාවක් රඟ දැක්වේ. මේ අතර දැනට ඉතා ප්‍රසිද්ධ නාට්‍යයක් වන මනමේ කතාවද කෝලම් සම්ප්‍රදායෙන් රඟ දක්වන ලදී.


මිරිස්ගේ උඩුපිල කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද මනමේ කතාවෙන් කොටසක් මෙසේ දැක්විය හැකිය. මෙය මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර විසින් නිර්මාණය කළ මනමේ නාටකය සංසන්දනය කර බැලිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017